විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන්ට ජපානයෙන් PHD

Picture of අසංක

අසංක


රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා මෙම වසරේදී රුපියල් මිලියන 420 ක ආධාර ලබාදීමට ජපානය තීරණය කර ඇත.

ජපාන රජය විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන යටතේ මෙම මූල්‍යාධාර ශ්‍රී ලංකාවට ලබාදේ.

මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම වෙනුවෙන් අමාත්යංශය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය අතර විශේෂ ගිවිසුමකට අත්සන් තැබුණු අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර් එච් එස් සමරතුංග මහතාද ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු අකිරා සුගියාමා මහතා හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන නියෝජිත ෆුසාතෝ ටනකා මහතා ද අදාළ ලියකියවිලි වලට අත්සන් තබන ලදී.

ඒ අනුව, මෙම වැඩසටහනෙහි පළමු කාර්යරාමුව (2010-2013) සහ දෙවන කාර්යරාමුව (2014-2017) පිළිවෙළින් 2013 හා 2017 වසරවලදී සාර්ථකව අවසන් කරන ලදි. මෙම වැඩසටහන ඉදිරියට වසර 04 ක් පුරා අඛණ්ඩව පවත්වා ගෙන යාම සදහා තුන්වන කාර්යරාමුව (2018-2021) 2018 වසරේදී ආරම්භ කරන ලදී. තවද මෙම වැඩසටහන යටතේ අධ්‍යයන කටයුතු අවසන් කරන ලද ශිෂ්‍යත්වලාභින්ගේ වෘත්තීයමය සංවර්ධනය තවදුරටත් සිදුකිරීමේ අවශ්‍යතාවය සලකා බැලීමෙන් අනතුරුව ආචාර්ය උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා උපරිම වශයෙන් වාර්ෂිකව අවස්ථා දෙකක් පිරිනැමීමට ද ජපාන රජය එකඟත්වය පළකර ඇත. ඒ අනුව මෙම වැඩසටහන යටතේ මේ දක්වා පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා අවස්ථා 150 ක් හා ආචාර්ය උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා අවස්ථා 04 ක් ලබා දී ඇත.