ගෝඨාභයගේ නඩුව ඔක් 01 දක්වා අත්හිටුවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 01 වනදා දක්වා අත්හිටුවන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ එලෙසම විශේෂ මහාධිකරණයය හමුවේ පැවැත්වෙන නඩුවේ සාක්ෂි විභාගය අත් හිටුවන ලෙස දන්වා නියෝගයක්ද නිකුත් කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම බුවනෙක අලුවිහාරේ, ගාමිණි අමරසේකර සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සලකා බලා එම නියෝගය කරුණු ලැබුවේය.

හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනකොට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර තිබුණි.

එම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම විභාග කිරීමට තමන්ට බලයක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණය පසුව එය විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.

එම අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදුන්නේය.

අනතුරුව පෙත්සම් විභාගය ඔක්තෝම්බර් මස 01 වනදා කැඳවීමට නියම කලේය.