ට්‍රම්ප් තෙවන වරටත් නීතිය නවයි

Picture of අසංක

අසංක

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද තෙවැනි වරටත් සිය නිෂේධ බලය භාවිත කළේය.

ඒ සෞදි අරාබියට හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඩොලර් බිලියන 8.1ක අවි විකිණීමට අමෙරිකානු කොංග්‍රසයේ තිබූ බාධාව ඉවත් කරමිනි.

මෙම අවි ගනුදෙනුව නවතා දැමීමට කොංග්‍රසයෙන් ආ යෝජනාවලට එකඟ විය නොහැක්කේ එය අමෙරිකාවේ ගෝලීය තරගකාරීත්වය දුර්වල කරනු ඇති බවත් අමෙරිකාවේ හිතවත් රාජ්‍යන් හා පවතින සබඳතාවලට හානි වනු ඇති බවත් ට්‍රම්ප් හේතු දක්වා ඇත.

ට්‍රම්ප් සිය නිෂේධ බලයෙන් අවි ගනුදෙනුවට මඟ පාදා ගත්තේ සෙනෙට් මණ්ඩලයේ හා පහළ මන්ත්‍රී මණ්ඩලයේ විරෝධය මතයි.

පහළ මන්ත්‍රී මණ්ඩලයේ මේ පිළිබඳ පැවැති ඡන්දයෙන් බහුතරය ලැබී තිබුණේ මෙම අවි ගනුදෙනුව නවතා දැමීම සඳහාය.

මෙම අවි යේමනයේ ගැටුම් තවත් උග්‍ර කිරීමට භාවිත කරනු ඇති බවත්, සෞදි කුමරුගේ නම ඈඳී ඇති මාධ්‍යවේදී ජමාල් කශෝගී ඝාතනය පිළිබඳ සෞදි රජයේ හැසිරීමටත් විරෝධය පළකරමින් එම දෙපාර්ශවයම මෙම අවි ගනුදෙනුව නවතා දැමීමට උත්සහ කළේය.

එහෙත් ට්‍රම්ප්ගේ නිෂේධ බලයෙන් එම අවහිරය ඉවත් වී ඩොලර් බිලියන 8.1ක අවිගනුදෙනුවට මඟ පෑදී තිබේ.