පානදුරේ ඝාතකයන් අත්අඩංගුවට ගන්න නොදී රටින් පනින්න පොලිස් ලොක්කෙක් උදව් කරලා!

Picture of අසංක

අසංක

පානදුර ප්‍රදේශයේ ධීවර කාර්මිකයෙක්ට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු බෝට්ටුවක නැගී ඉන්දියාවටත් යතුරුපැදිකරු ගුවනින් ඩුබායි වෙතත් පැනගොස් ඇතැයි වාර්තා වේ.

යතුරුපැදිකරු එක්දින සේවය විදෙස්ගමන් බලප්‍රයක් සකස්කර ඩුබායි බලා ගොස් ඇත්තේ ඉකුත් 10 වෙනිදාය. ඔහු පානදුර හිරණේ පදිංචිව සිටි පියුම් හස්තක නැමැති අයෙක් බව පොලීසිය හදුනාගෙන ඇත.

වෙඩික්කරු බෝට්ටුවක නැගී ඉන්දියාව බලා ගොස් ඇත්තේද එම දිනයේම බව අනුමාන කෙරේ.

මෙම ඝාතන සැළසුම, විදේශයක රැදී සිටින බව පෙන්වමින් දුරකතන ඇප් එකක් මගින් මෙරට රැදී සිටිමින් එම ඝාතනය මෙහෙයවූ පානදුරේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ බව පොලීසියට හෙළි විය.

මෙහි වැඩිදුර විමර්ශන පවත්වමින් සිටියදී පොලීසියේ ඉහළ නිලධාරියෙක් විටෙන් විට විමර්ශනවලට මැදිහත් වෙමින් පරීක්ෂණ අඩාල කිරීමට කටයුතුකර ඇතැයි පොලිස් තොරතුරු වාර්තා කරයි.

ඒ අතර ඉහළ පොලිස් නිලධාරියකුට ලද තොරතුරක් යැයි කියමින් ගල්කිස්ස පොලීසියේ කණ්ඩායමක් වෙඩි තැබීමට යොදාගත් බව කියන ටී 56 අවිය පානදුර සුසාන භූමියක ගසක් මුල තිබී සොයා ගත්තේය.

අනතුරුව වෙඩික්කරු පැමිණී බව කියන යතුරු පැදියද බොල්ගොඩ ගගෙන් ගොඩ හමුවිය.

මේ වන විට අනාවරණය වී ඇත්තේ එම ගිනි අවිය වෙඩි තැබීමට යොදාගත්තක් නොවන බවත් යතුරුපැදිය ඔවුන් වෙඩි තැබීමට පැමිණී එක නොවන බවත්ය.

ගිනි අවිය සහ යතුරු පැදිය සොයා ගැනීමට පෙර ප්‍රධාන සැකකාර ජාවාරම්ක්කකරුගේ ගෝලයෙක් කොළඹ කොටුවේදී යම් පුද්ගලයෙක් අතට රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබාදී ඇත.

එම මුදල් පත්වූයේ කාගේ අතටදැයි මේ වන විට බරපතල සැකයක් මතුවී තිබේ.

ජාවාරම්කරු උසස් පොලිස් නිලධාරියෙකුට දුරකතනයෙන් ඇමතුම් ලබා ගන්නා බවද අනාවරණය වී තිබේ.

ඉහළ පොලිස් නිලධාරියෙක් පසුගිය කාලය පුරාවටම මෙම ඝාතන විමර්ශනයේ සැකකරුවන් හෙට අනිද්දා භාරවෙන බවට සදහන් කර ඇත.

සැකකරුවන් මේ වන විට රටින් පළාගොස් ඇති බව හෙළිවී තිබේ.