විජයග්‍රහණයේ 12 වන සැමරුම නිමිත්තෙන් නාවික හමුදාවේ  1968 කට උසස්වීම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තිස් වසරකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති එල්ටිටිඊ ම්ලේච්ඡ ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කර මාතෘභූමියට  උත්තරීතර නිදහස උදාකර දී 12ස් වසරක් සපිරීම නිමිත්තෙන් නාවික හමුදාවේ නිලධාරීන් 64 දෙනෙකු සඳහා සහ විවිධ තරාතිරම් වලට අයත් නාවිකයන් 1904 ක් සඳහා වශයෙන් නාවික පුද්ගලයින් 1968ක් වෙත උසස්වීම් ලබා දීම 2021 මැයි මස 19 දින සිදු කෙරිණි.

නිවැරදි නායකත්වය හා මඟ පෙන්වීම මත තිස්වසරක් පුරා මෙරට වෙලා පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය 2009 මැයි මස 18 වන දින මෙරටින් මුලිනුපුටා දමමින් ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කර, මෙම වසරේ මැයි 18 වන දිනට වසර 12ක් සපිරේ. එම අභිමානවත් විජයග්‍රහණයේ 12 වන සැමරුම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අනුමැතිය මත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න විසින් නාවික පුද්ගලයින් 1968 දෙනෙක් මෙලෙස 2021 මැයි මස 19 වන දින උසස් කිරීම සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාවේ කපිතාන් නිලයට නිලධාරීන් 04ක්, කොමාණ්ඩර් නිලයට නිලධාරීන් 11ක්, ලුතිනන් කොමාණ්ඩර් නිලයට නිලධාරීන් 27ක්, ලුතිනන් නිලයට එක් නිලධාරියෙකු (01) සහ මධ්‍ය නිලධාරී ලෙස නිලධාරීන් 21ක් වශයෙන් නිලධාරීන් 64 සඳහා උසස් වීම් ලබා දීම සිදු විය. එමෙන්ම පාලක ප්‍රධාන සුළු නිලධාරී තරාතිරමට  ජ්‍යේෂ්ඨ නාවිකයින් 109ක්, සමූහ ප්‍රධාන සුළු නිලධාරී තරාතිරමට ජ්‍යේෂ්ඨ නාවිකයින් 218 ක්, ප්‍රධාන සුළු නිලධාරී තරාතිරමට ජ්‍යේෂ්ඨ නාවිකයින් 421ක්, සුළු නිලධාරී තරාතිරමට  කනිෂ්ඨ නාවිකයින් 844ක්, නායක නැවි තරාතිරමට කනිෂ්ඨ නාවිකයන් 55 ක්, බල නැවි තරාතිරමට කනිෂ්ඨ නාවිකයන් 193ක් සහ සාමාන්‍ය නැවි තරාතිරමට කනිෂ්ඨ නාවිකයන් 64ක් වශයෙන් ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින්  1904ක් සඳහා උසස්වීම් ලබා ‍දීම සිදු කරන ලදී.