ආරක්ෂක තොරතුරු වාර්තාකරු රමේෂ් වරල්ලෙගම විසිනි.
සහරාන් හෂීම් මියගියාද නැද්ද යන්නත් ඔහුගෙන් පසු ලංකාවේ අයි.එස්.අයි.එස් නායකයා කවුද යන්නත් ගැන සියල්ලෝම විමසිලිමත්වෙති.
ඒ වෙනුවෙන් රහස් පොලිසිය සහරාන්ගේ දියණියගේ ඩී.එන්.ඒ පරික්ෂණයකට සුදානම් බව නවතම පුවතයි.
ඩී.එන්.ඒ වලින් අනාවරණය විය හැකි ප්‍රඵිපලය ගැන දැන්ම නිල අනාවැකි පැවැසීම නුසුදුසුය.
නමුත් විශ්වාසදායි ආරක්ෂක බුද්ධි අංශ ආරංචි මාර්ගවලින් හා මුලික පොලිස් විමර්ශනවලින් නම් කියැවුණේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ ප්‍රහාර දෙකෙන් එක් මිනිස් බෝම්බයක් ලෙස ක්‍රියාත්මකවුයේ සහරාන් හෂීම් බවයි.
දැන් අනෙක් ප්‍රශ්නය ලංකාවේ අයි.එස්.අයි.එස් නායකයා සහරාන් හෂීම් ක්‍රියාත්මක වුයේ නම් ඔහුම මිනිස් මිනිස් බෝම්බයක් ලෙස ක්‍රියාත්මක වුයේ ඇයිද යන්නයි.
සාමාන්‍යයෙන් කිසියම් වු සංවිධානයක නායකයා පළමුව මිය යන්නේ නැත. එම පිළිතුරේදී ලංකාවේ අයි.එස්.අයි.එස් නායකයා කවුද ? හෝ මීළග නායකයා කවුද ? යනුවෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ප්‍රශ්න දෙකක් මතුවෙයි.
මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැක්කේ ශ්‍රි ලංකාව සහ ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් වන අයි.එස්.අයි.එල් පිළිබද ඉතිහාස කතාව නිවැරදිව කියැවීම තුළිනි. මීළග නායකයා හෝ දැනට සිටින නායකයා ගැන අවබෝධයක් ඔබට ඉන් ලැබෙන බව ස්ථීරය.
ඉතා සමීප ඉතිහාසයේ ශ්‍රි ලංකාව මුහුණ දුන් ගැටුම් අතර ප්‍රධාන තැනක් උසුලනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල සහ දෙමළ ඊළාම් විමුක්ති කොටින්ගේ (එල්.ටී.ටී.ඊ) ඊළාම් රාජ්‍යයක් උදෙසා වු යුද්ධයයි.
ජවිපෙට රෝහණ විජේවීර සහ එල්.ටී.ටී.ඊ යට වේලුපිල්ලේ ප්‍රභාකරන් නායකත්වය දුන්හ. නායකත්වයේ සිට යටිතලය දක්වා ක්‍රියාත්මක ධූරාවලියක් මෙම සංවිධාන දෙකටම තිබිණි.
මේ නිසා මෙම කැරලි හා යුද්ධ මර්දනය කිරීමට ආරක්ෂක අංශ සමත්වුයේ ඒ වෙනුවෙන් කැපවීම් කළ දක්ෂ ආරක්ෂක අංශ නිලධාරින් නිසාය. ඔවුන් අදාල සංවිධානවල තනතුරු ධූරාවලියේ නායකත්වය විනාශ කිරීම දක්වා මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.
අයි.එස්.අයි.එල් මෙම සංවිධාන දෙකටම වඩා වෙනස්වුවකි. ඉහත සංවිධාන දෙකම රටේ පාලන බලය අල්ලා ගැනීමට මෙරට තුළින් බිහිවු සංවිධානයි. නමුත් අයි.එස්.අයි.එල් බිහිවන්නේ ගෝලීය ත්‍රස්ත සංවිධානයක් ලෙසය. එය මුලධර්මවාදය පදනම් කරගත් ත්‍රස්ත සංවිධානයකි.
මේ අන්තවාදී මුලධර්මවාදය මෑතකාලීනව ආරම්භ වුයේ කොතැනින්ද ? එතැන් සිට සරලව කතාව තේරුම් ගැනීමෙන් අද රට මුහුණ පා ඇති ඛේදනීය තත්ත්වය ගැන හොදින් තේරුම්ගත හැකිය.
ලෝකයේ ඉස්ලාමීය අන්තවාදය බිහිවන්නේ ඉරානය සහ සෞදි අරාබිය කේන්ද්‍රකරගෙනය. ඊට ප්‍රධාන හේතුව වන්නේ ඉස්ලාමීය ඇදහිලි ක්‍රම අනුව බෙදී ගිය නිකාය භේදයයි. සෞදි ආරාබිය – සුන්නි මුස්ලිම්වරු ලෙසත්, ඉරානය ෂියා මුස්ලිම්වරු ලෙසත් බෙදුනෝය. ඔවුන්ගේ එකිනෙකට වෙනස් ඇදහිලි හා විශ්වාසයන් ඊට හේතුවිය.
මීට වසර හාරසියක පන්සියකට ඉහත ශ්‍රි ලංකාවේ වෙළදාමට මුස්ලිම්වරුන් බහුතරයක් පැමිණෙන්නේ සෞදි අරාබියෙනි. ලංකාවේ මිලියන දෙකකට අධික මුස්ලිම් ජනතාවගෙන් සියයට 98.2 සුන්නි නිඛාය නියෝජනය කරන්නේ මේ නිසාය. ඉරානයෙන් පැමිණි ෂියා මුස්ලිම්වරුද මෙරට ජීවත්වෙති. ඒ සියයට 1.5ක් තරම් අඩු ප්‍රතිශතයකි.
පළමු ගැටුම ඇතිවන්නේ සුන්නි – ෂියා නිඛාය අතරය. දකුණු ආසියාව,චීනය, ඊශානදිග ආසියාව,අප්‍රිකාවේ සහ අරාබියේ ඇතැම් රටවල සුන්නි මුස්ලිම් බහුතරය නියෝජනය වේ. ඉරාකය, බහරේන්,ලෙබනනය සහ ඉරානයේ ෂියා මුස්ලිම් බහුතරයක් නියෝජනයවන අතර දේශපාලනික රැකවරණ ලැබු ෂියාවරු ඉතා කුඩා ඒකක ලෙස පකිස්ථානය, සිරියාව,යේමනය සහ කුවේටයේ ජීවත්වුහ.
සුන්නි ෂියා අරගලයේදී සෞදියට සහ ඉරානයට සහය දක්වන මුස්ලිම් රටවල් කොටස් දෙකකට බෙදිනි. මුස්ලිම් රජ්‍ය සංකල්පය වෙනුවෙන් ජිහාඩ් සංවිධානය බිහිවන්නේත් අවි අතට ගත් සටන් සදහා ඔවුන් යොමු වන්නේත් සෞදිය කේන්ද්‍රකරගත් සුන්නි මුස්ලිම් රටවල නියෝජනයෙනි.
ටියුනීසියාවෙන් පටන්ගත් මැදපෙරදිග හරහා හමාගිය අරාබි වසන්තය සිරියානු නැවතුම දක්වා පැමිණෙන්නේ මේ නිඛාය අර්බුධය හේතුවෙනි. ජනඝාතනයන් සාමාන්‍යකරණය වන්නේ මෙවැනි වටපිටාවකය.
සදාම් හුසේන් ඝාතනය කළ ඇමෙරිකානු ආක්‍රමණයෙන් පසු නැවත ඉරාකයේ බලය ෂියා පාර්ශවයට හිමිවෙයි. මේ කාලයේදී සිරියාවේ පාලනය වෙනස් කිරීමට ඇමෙරිකාව කල්පනා කළේය. ඊට හේතුවුයේ සිරියානු- ඉරාන සබදතාවය ඊශ්‍රායලයට ගැටලුකාරී විමයි.
ඒ වනවිට ජිහාඩිසම් වලින් පෝෂණය වු තලේබාන්, අල් කයිඩා, අල් සබාබ්, අන්සර් අල් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානය බිහිවිය. 1999දි කරළියට ආ ඉරාකය සහ සිරියාව පදනම් කරගත් ඉස්ලාමීය රාජ්‍යය (අයි.එස්.අයි.එස්) ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරිත්වය අල්කයිඩා නායක බින් ලාදන් ඝාතනයෙන් පසු තීව්‍රවී කරළියට ආවේය.

2014 ජුනි මාසයේදී මෙම සංවිධානය ඉස්ලාම් රාජ්‍ය ඉරාකය සහ ලැවිටියා (අයි.එස්.අයි.එල්)ලෙස හදුන්වාගත්තේ අයි.එස්.අයි.එස් සදහා අලුත් මුහුණුවරක් ලබාදෙමිනි. අයි.එස්.අයි.එල් නායකයා අබු බකර් අල් බැග්ඩාඩිය.
ඉස්ලාමීය රාජ්‍ය සංකල්පයට අයත් මුලධර්මය අබු බකර් අල් බැග්ඩාඩි විසින් ප්‍රකාශයට පත්කරන්නේ ඉන් අනතුරුවය. ඔහු යටතේ ඉරාකය,සිරියාව සහ අනෙකුත් රටවල් නියෝජනය කරමින් තවත් නායකත්ව ධූරාවලියක්ද සහිතව සංවිධාන ව්‍යුහයක් සැකසිණි.
අබු බකර් අල් බැග්ඩාඩිගේ මුලධර්මයට අනුව ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් සියලු දෙනා සිරියාවට පැමිණ යුද්ධ කළ යුතු විය. එසේ අයි.එස්.අයි.එල් ප්‍රකාශයට පත්කළ මුස්ලිම් රාජ්‍යයට (කැලපි)යට ශ්‍රි ලංකාවද අයත්වුයේය.
මුලින්ම සෞදි රජයේ පාලනයට හීලෑ වු සුන්නි මුස්ලිම්වරුන්ගේ අන්තවාදී සංවිධන වු ජිහාද් සංවිධානය අයි.එස්.අයි.එල් දක්වා වර්ධනයවනවිට මුල් අරමුණුවලින් බැහැරව ගියේය. ඒ නිසා සෞදියේ පාලනයෙන්ද මෙම සංවිධාන ගිලිහි ගියේය. ඒ අනුව දැන් සෞදියද පෙනුමට අයි.එස්.අයි.එල් විරෝධියෙකි.
මේ අනුව අයි.එස්.අයි.එල් ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන සතුරන් වර්ගීකරණය මුල පටන්ම ප්‍රමුඛස්ථානයට පත්වුයේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්ය. ක්‍රිස්තියානි භක්තිකයන් දුටු තැන පහර එල්ල කිරීම අබු බකර් අල් බැග්ඩාඩිගේ නියෝගයයි.
ඔවුන්ගේ දෙවැනි සතුරා ඉස්ලාම් රාජ්‍යයට විරුද්ධවන රටවල් හා ජනතාවයි. ඇමෙරිකාව, ඉන්දියාව, ඇතුළු කවුරුන් විසින් ඊට විරුද්ධවේද එම රටවල් ඔවුන්ගේ සතුරු රටවල්වේ. ශ්‍රි ලංකාව වැනි රටවල් පාස්කු ඉරිදා 4-21 ප්‍රහාරයට පෙර සිටියේ තෙවැනි ගණයේ අයි.එස්.අයි.එල් සතුරකු ලෙසය.
ඇමෙරිකාවට සහය දෙන්නෙත් නෑ නොදෙන්නෙත් නෑ වැනි ද්විත්ව රූපනය නිසා ශ්‍රි ලංකාව තෙවැනි ගණයේ සතුරකු ලෙස සැලකීමට අයි.එස්.අයි.එල් ක්‍රියාකළේය.
නමුත් කිසිවෙකුහෝ මෙම අයි.එස්.අයි.අල් මුලධර්මය ශ්‍රි ලංකාවට නොඑන බවට අදහසකින් රට පාලනය කළේ නම් බුද්ධි අංශ අනුව අද අප භුක්ති විදිමින් සිටින්නේ එහි ප්‍රතිඵලයයි.
ශ්‍රි ලංකාවේ බුද්ධි අංශ මුලින්ම මෙරට අයි.එස්.අයි.එස් ත්‍රස්ත ක්‍රියාකාරීත්වයක් දැනගන්නේ 2015 මැයි මාසයේදීය. ඒ මෙරට බුද්ධි අංශ වික්ෂිප්ත කරමින් විදෙස් ඔත්තු සේවාවක් ලබා දුන් පණිවුඩයකිනි. අදාල පණිවුඩයෙන් කියැවුණේ ශ්‍රි ලාංකික පවුල් දෙකක් අයි.එස්.අයි.එස් සටන් සදහා සිරියාවට පැමිණ සිටින බවයි.
2013 වසරේ අගභාගය වනවිට අදාල ක්‍රියාකාරිත්වයක් සිදුවිය හැකි වටපිටාවක් සදහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස්මත මෙරට බුද්ධි අංශ ත්‍රස්ත අභියෝග පිළිබද මුලික අවධානමකින් මෙන්ම ඒ පිළිබද විදෙස් පුහුණුවීම්වලට පවා යොමුවෙමින් ඒ වෙනුවෙන් මුලික කටයුතු කරමින් සිටියේය.
විදෙස් ඔත්තු සේවා මෙම වැදගත් පුවත ලංකාවට මුලින්ම දන්වන්නේ ඒ ඇවෑමෙනි.
මොහොමඩ් මුහුසින් සර්ෆාස් නිලාම් මහනුවර ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබා පසුව පකිස්ථානයට ගොස් වැඩිදුර අධ්‍යාපනය ලබා අයි.එස්.අයි.එස් ක්‍රියාකාරකම් සමග එක්වන අතර ඔහු, ඔහුගේ ගර්භණී බිරිද, ඇයගේ මව, දරුවන් සයදෙනා සහ නැන්දනිය සිරියාවට ගොස් ඇත්තේ 2015 ජනවාරි 15 වැනිදාය. ඔහුගේ බිරිදගේ දෙවැනි සහෝදරයා වු තස්කර් අහමඩ් තාජුඩීන් නැතිනම් අබු දුජානා සෙයිලානි ඔවුන් සමග එක්වු අනෙක් පවුලයි.
ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් සර්ෆාස් නීලාම් 2015 ජුලි 11 වැනිදා මරුමුවට පත්වුයේය. අයි.එස්.අයි.එල් සංවිධානය ඔහු මියයෑම සම්බන්ධයෙන් විශාල ප්‍රචාරයක් ලබාදීම මෙහිදී සිදුවු විශේෂිත සිද්ධියයි. 2015 තෙක් මෙරට නිහඩව සිටි අන්තගාමී කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ( ෆේස්බුක්, ටිව්ටර්, වට්ස්ඇප්) මගින් විවෘතව මෙරටදී අයි.එස්.අයි.එල් ගැනත් නීලාම්ගේ මරුමුවට පත්වීමත් කතා කරන්නේ මෙම පසුබිම තුළය.
ඒ අනුව එවකට පැවැති රජයේ බුද්ධි අංශ මේ පිළිබදව ඉතා සංවේදී වෙමින් කටයුතු කිරීම ආරම්භ කළේය. 2015 සිට 2020 සැලැස්ම ඉන් එක් පියවරකි. මේ වෙනුවෙන් ක්‍රියාත්මක වු සන්නද්ධ බුද්ධි අංශය (ඩී.එම්.අයි) සතුව අවුරුදු පහෙන් පහට ක්‍රියාත්මක අනෙකුත් බුද්ධි අංශ හා ඒකාබද්ධ බුද්ධි අංශ සැලැස්මක් වුයේය.
එහි ප්‍රධාන සැලසුම් වී තිබුණේ ශ්‍රි ලංකාවට පිටතින් එන තර්ජන පිළිබදව අවධානය යොමු කිරීම, එල්.ටී.ටී.ඊ ය නැවත හිස එසැවීමේ තර්ජනය දෙස බැලීම, මිනිස් ජවාරම හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම, මුස්ලිම් හා සිංහල මුලධර්මවාදී සංවිධාන ගැන සොයා බැලීමය.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත බුද්ධි අංශ ප්‍රධානි ලෙස කටයුතු එකළ බ්‍රීගේඩියර් සුරේෂ් සලේ ඇතුළු නිලධාරින් ඒ වෙනුවෙන් ක්‍රියාතමකවිය.
බුද්ධි අංශ නිලධාරින් රටවල් 08කට යවා මේ සම්බන්ධයෙන් පුහුණුවීම් පවා සිදුවිය. ඊට අමතරව සමාජ මාධ්‍ය ජාලා අධ්‍යනය කිරීම සදහා වෙනමම බුද්ධි ජාලයක් ස්ථාපිත කෙරිණි. අරාබි භාෂාව කතාකළ හැකි පිරිසට එහි විශේෂ වගකීම් පැවැරිණි.කොල්ලුපිටිය මුස්ටාක් මහල් එකල අදාල කටයුතු ක්‍රියාත්මක මුලස්ථානය ලෙස භාවිතයට ගැණිනි.
මෙවැනි පද්ධතියක් ක්‍රියාත්මකවීම නිසා 2015 අගෝස්තුවනවිට ශ්‍රි ලාංකිකයන් 41 දෙනෙකු සිරියාවට ගොස් අයි.එස්.අයි.එස් සමග එක්ව ඇති බව මෙරට බුද්ධි අංශ විසින් අනාවරණය කර ගැණිනි. ඒ වනවිට අයි.එස්.අයි.එස් ක්‍රියාකාරකම් සදහා සහය පළ කරන 15ක පමණ කණ්ඩායමක් සමාජ ජාලවල සැරිසැරීමට පටන් ගන්නේ ජමාද් නියෝජනයක් ලෙසයි. ජේ.එම්.අයි මෙරට මෑතකාලයේ මුල්ම මුල්ම ජමාද් සංවිධානයයි.
මෙරට සුන්නි මුස්ලිම් වැසියන්ගෙන් සියයට 40ක් පමණ 1990 මැද භාගයවනවිට තාරිකා නිඛාය වැළදගන්නා අතර සියයට 55ක් තබ්ලික් ජමාද් සහ සියයට 3ක් තවුහිද් නිඛායට සෘජුවම සම්බන්ධ වුයේය.

තව්හිද් ජමාද් ශ්‍රි ලංකා සංවිධානය පසුව කොටස් 4කට කැඩී ගියේය. සමස්ත ලංකා තවුහිත් ජමාද්, ලංකා තවුහිත් ජමාද්, එක්සත් තවුහිත් ජමාත්, ජාතික තවුහිත් ජමාත් ඒ කණ්ඩායම් හතරයි.
සහරාන් හෂීම් අයත්වුයේ 2016-2017 වසරවල ඇතිකරගත් ජාතික තවුහිත් ජමාද් (එන්.ටී.ජේ) සංවිධානයටයි.
ඔහු එහි නායකයා වන්නේ ජේ.ඒම්.අයි සහ ලංකා තවුහිද් ජමාද් සංවිධානවල කොටසක් කඩාගෙන බිහිවන නව සංවිධානයක නායකයා ලෙසය. අම්පාර කාත්තන්කුඩිය මුල්කරගත් ජාතික තව්හිද් ජමාත් (ඒන්.ටී.ජේ) ක්‍රියාකාරි ව්‍යුහට පැමිණ වසර දෙකකට වැඩි කාලයක් නැත.
2016 අග ඉන්දියාවට යන සහරාන් හෂීම් නැවත ශ්‍රි ලංකාවට පැමිණෙන්නේ 2017 වසරේදීය. ඒ වනවිට ඔහු අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයේ මුලධර්මවාදය ගෙනයන ප්‍රමුඛ දේශකයෙකි. අබු බකර් අල් බැග්ඩාඩිගේ තවත් දෙසුමක් වුයේ සිරියාවට පැමිණිය නොහැකිනම් තමන්ගේ රටේ සිට ඊට සහය දැක්වීමේ හැකියාව ඇති බවයි. සහරාන් හෂීම් තෝරාගන්නේ මේ දෙවැනි උපදෙසයි.
සිරියාවේ බලය අයි.එස්.අයි.එස් සටන් කාමීන්ගෙන් පසුගියදා බරපතල ලෙස ගිලිහෙනවිට ශ්‍රි ලංකාවෙන් සිරියාවට ගිය අයි.එස්.අයි.එස් පවුල්වල සාමාජිකයන් මෙන්ම වෙනත් රටවල අයි.එස්.අයි.එස් සාමාජිකයෝද මෙරටට පැමිණියහ. ඒ මෙරට පාලන තන්ත්‍රය මෙහෙයවන දේශපාලන අධිකාරියේ සංහිදියාවට හා යහපාලනයට පිංසිදු වන්නටය.
අබු බකර් අල් බැග්ඩාඩි සහ ඔහුගේ සංවිධානය අයි.එස්.අයි.එල් වෙනුවෙන් පටිගත කළ වීඩියෝවකින් දිවුරුමක් දී පසුගිය පාස්කු ඉරිදා 4-21 මෙරට කොළඹ, මීගමුව, මඩකළපුවේ දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගෙන සහරාම් හෂිම් ඇතුළු මිනිස් බෝම්බකරුවන් සමුහයක් ක්‍රියාත්මක වන්නේ මෙවැනි පසුබිමකය.
ජීවිත 257ක් බිලගත් මෙම ප්‍රහාර මාලාවේ තවත් හයසියකට අධික පිරිසක් තුවාල ලැබුහ.
අබු බකර් අල් බැග්ඩාඩි වසර පහකට පසුව හුන් තැන්වලින් එළියට විත් වීරයකුවන්නේ මෙම ප්‍රහාරය සමගය. ඔහු තමන් සැගවී සිටින තැනින් එළියට පැමිණ වීඩියෝවක් මගින් සිය අනුගාමිකයන්ට ලංකාවේ ප්‍රහාරයේ වගකීම භාරගනිමින් කතා කළේය.
මුලධර්මවාදී සංවිධානයකට නායකයන් පැටව් ගැසීම සාමාන්‍යය සිදුවීමකි. ඔවුන්ගේ වෙනස මුලධර්මවාදය වෙනුවෙන් ක්‍රියාත්මක වීමයි. සමාජයේ ඉහළම යැයි සැලකෙන උගතුන් මිනිස් බෝම්බ ලෙස මරුමුවට පත්වන්නට තරම් මොළ සේදීමකට ලක්ව ඇත්තේ මෙම මුලධර්මවාදී ඇදැහිල්ලයි.
ඒ නිසා සහාරම්ගෙන් පසු ඔහුට සමීප සබදතා පැවැත්වු සහ ඔහුට උපදෙස් දුන් බව කියන පුද්ගලයන් කිහිප දෙනෙක්ම මේ වනවිට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන හමාරය.
සෞදියේදී අත්අඩංගුවට ගත් සැකකරුවකු මෙන්ම පුජකවරයෙකුද ඒ අතර සිටිති. සහරාම්ගේ බිරිදද කට ඇර ඇතැම් කරුණු හෙළිකරමින් සිටින්නීය. කෙසේ වෙතත් මේ තත්ත්වයේදී සිදුවු දරුණුතම ඛේදවාචකය නම් අයි.එස්.අයි.එල් පළමු ගණයේ ඉලක්කගත රටක් ලෙස අවාසනාවන්ත ලෙස අප රටද ත්‍රස්ත සංවිධානයක් ඉදිරියේ නාමකරණය වීමයි. අයි.එස්.අයි.එල් මෙරටින් තුරන් කරනවායැයි පැවැසීමම ඊට ප්‍රමාණවත්ය.
පසුගිය වසරේ අග මඩකළපුව වව්නතිව් ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරින් දෙදෙනාගේ පරීක්ෂණ, වනාතවිල්ලුවෙන් හමුවු පුපුරණ දව්‍ය කිලෝ සියයෙන් පසු පරීක්ෂණ සහ පාස්කු ඉරිදා ප්‍රහාරයට සති දෙකකට පෙර ලැබුණු විදෙස් බුද්ධි අංශ තොරතුරුවල පරීක්ෂණ සදහා නිවැරදි ලෙස ක්‍රියාත්මකවීමේ යාන්ත්‍රණයක් මෙරට තිබුණේ නම් පාස්කු ඉරිදා ව්‍යවසනය වළක්වා ගැනීමට ඔනෑතරම් පසුබිමක් තිබුණි.
අස්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් ඵලක් නැතිබවට නැවත නැවත සනාථ කරන මෙම සිද්ධිය නොසැලිකිලිමත් ආරක්ෂක වැඩපිළිවෙලකින් රිංගා යාමට ත්‍රස්තවාදීන්ට ලැබුණු මහගු පිටුබලයක් වු සැටියකි.
කොටින්ම කලින් පැවැති රජයේ ත්‍රස්තවාදයට මුහුණ දෙමින් ඉන් පන්නරය ලබමින් තනාගත් දේශපාලන, ආරක්ෂක හා බුද්ධි අංශ ඒකාබද්ධ ක්‍රියාවලිය සතයකට මායිම් නොකර සිටීම නිසා අහක යන නයෙක් රෙද්ද පල්ලෙ දා ගත්තා වැනිය.
දැන් අප සුදානම්ව සිටිය යුත්තේ ලොන් වුල්ෆ් (lone wolf) වෘකයන්ට මුහුණදීමේ සුදානම ඇතිවය.තමන් විසින්ම බෝම්බ සදාගෙන තමන් විසින්ම පුපුරවාගන්නා මුලධර්මවාදීන් පාලනය කළ හැකි පිළියමක් අනෙක් ක්‍රමවේදයන්ට වෙනස්ය.
ඒ නිසා අද ඉවරයි හෙට ඉවරයි සංකල්පයෙන් බැහැරවී මෙවැනි සංවේදී ආරක්ෂක කරුණු පිළිබදව ක්‍රියාත්මකවිය හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතුය. ඒ සදහා පළමුව සිහි තබාගත යුත්තේ මුස්ලිම් සමාජයේ සියලු දෙනා සතුරන් හෝ ත්‍රස්තවාදීන්යැයි මතයෙන් බැහැරවීමයි.
සෙසු සියල්ල ඉන් අනතුරුවය. නමුත් මෙවැනි විපත්වලට මුහුණදිය හැකි දක්ෂ දේශපාලන යන්ත්‍රයේ පුද්ගලයන්, බුද්ධි අංශ නිලධාරින් හා හමුදා සහ පොලිස් නිලධාරින් තවමත් අපට රට සතුය. අවශ්‍ය වන්නේ මොවුන්ට අවශ්‍යය නායකත්වය ලබාදෙන ක්‍රමවේදයකට රට පරිවර්තනය වීමයි.
