රථ වාහන තදබදයෙන් , ලංකාව ලෝකයේ තුන්වැනි තැනට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝකයේ දරුණුම රථවාහන තදබදය සහිත රටවල් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට පත්ව ඇති බව ජාත්‍යන්තර දත්ත වාර්තා අනාවරණය කරයි.

ගෝලීය ජීවන තත්ත්වයන් සහ පාරිභෝගික දර්ශක පිළිබඳ දත්ත රැස් කරන ප්‍රකට ‘Numbeo’ ආයතනය විසින් නිකුත් කර ඇති 2026 වසරේ මධ්‍ය කාලීන රථවාහන දර්ශකයට (Traffic Index by Country 2026 Mid-Year) අනුව මෙම තත්ත්වය වාර්තා වේ.

ශ්‍රී ලංකාව මෙහිදී ලකුණු 254.5ක ඉහළ දර්ශක අගයක් වාර්තා කර ඇති අතර, ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවන්නේ නයිජීරියාව සහ කොස්ටාරිකාව යන රටවල් දෙක පමණි.

සර්බියාව පදනම් කරගත් ‘Numbeo’ සබැඳි දත්ත පද්ධතිය මඟින් ලොව පුරා වෙසෙන සාමාන්‍ය ජනතාව සහ මගීන් සැබෑ ලෙස අත්විඳින තොරතුරු සෘජුවම උපයෝගී කර ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබේ. අදාළ දර්ශකයට අනුව ලොව දරුණුම රථවාහන තදබදය සහිත රටවල් දහය පහත දැක්වෙයි.

නයිජීරියාව
කොස්ටාරිකාව
ශ්‍රී ලංකාව
බංග්ලාදේශය
කෙන්යාව
ඊජිප්තුව
පේරු
ඉරානය
ඉන්දියාව
කොලොම්බියාව