IMF සමඟ සාකච්ඡාවලට පෙර ශ්‍රී ලංකාව විදේශ තාක්ෂණික සහාය ගන්න සූදානම්

Picture of අසංක

අසංක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කිරීමට පෙර ශ්‍රී ලංකාව විදේශ තාක්ෂණික සහාය ලබාගැනීමට තීරණය කර ඇතැයි කැබිනට් සම ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ජාත්‍යන්තර අරමුදලේ සහය ලබාගැනීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳ උපදෙස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ආර්ථික කවුන්සිලයෙන් ලබා දෙනු ඇති බවත් හෙතෙම කීය.

තාක්ෂණික සහාය ලබාදීම සඳහා දීර්ඝ කාලීන පදනමක් මත සමාගමක් බඳවා ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින්, සමාගම බඳවා ගැනීමේ ක්‍රියාවලියට මහාචාර්ය ජී.එල්. පීරිස් සම්බන්ධ වනු ඇති බව පැවසූ අමාත්‍යවරයා ‘තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් අපට යම් කිසිවකු බඳවා ගැනීමට සිදු වෙනවා’ යනුවෙන් පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තාක්ෂණික සහාය ලබාගැනීමට ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදය පදනම් කරගත් සමාගමක් බඳවා ගැනීමට නියමිත බවට වාර්තා වන්නේ යැයි මාධ්‍යවේදියකු අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.