කොළඹ නගර සභාවේ ඉංජිනේරුවෙකුගෙන් සුළු සේවිකාවන්ට ලිංගික හිංසන

Picture of අසංක

අසංක

කොළඹ මහ නගර සභාවේ සේවිකාවන් එහි ඉහළ නිලධාරීන්ගේ ලිංගික හිංසනයට ලක්වන බවට දෙවන වරටත් නගර සභාව තුලින්ම චෝදනාවක් එල්ලවී ඇත.

ඒ අනුව කොළඹ නාගරික මන්ත්‍රී සමන් අබේගුණරත්න මහතා විසින් මේ බව පසුගියදා පැවති මහසභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇති අතර එම චෝදනා සියල්ල ලිඛිතව නගරාධිපතිනිය හා නාගරික කොමසාරිස්වරයා වෙත ලබාදීමටද ඒ මහතා පියවර ගෙන ඇත.

කොළඹ මහනගර සභාවට අයත් නාගරික කර්මාන්ත ශාලාවේ, සුළු සේවිකාවන් ලෙස කටයුතු කරන කාන්තාවන්ට මෙසේ ලිංගික හිංසනයන් සිදුවන බවත්, එම කර්මාන්තශාලාවේ ඉංජිනේරුවරයකු මෙම නොමනා ක්‍රියාවන්ට මුල්වී ඇති බවත් අබේගුරත්න මහතා මෙහිදී චෝදනා කර ඇත.

එසේම මෙම කර්මාන්තශාලාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ප්‍රමුඛ නිලධාරීන්ගේ සහයෝගය මේ සඳහා ලැබී ඇති බවත් අබේගුණරත්න මහතා තම ලිඛිත චෝදනා පත්‍රයේ සඳහන් කර ඇත.

මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ ඉතා අඩු වයස්වල සිටින කාන්තාවන් වන බවත් වාර්තාවේ.

මීට පෙර කොළඹ නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවල මහත්මියද කොළඹ මහනගර සභාවේ සේවිකාවන්ට එහි ඉහළ නිලධාරීන්ගෙන් එල්ලවන ලිංගික හිංසන පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කළාය.

ඇය එහිදී එම පැමිණිලි ලිඛිතව නගරාධිපතිනියට මෙන්ම ආණ්ඩුකරවරයාටද ඉදිරිපත් කල අතර ඒ සඳහා මාධ්‍ය මගින්ද විශාල ප්‍රචාරයක් ලැබිණ.

නමුත් මෙම පැමිණිලි සම්භන්ධව නගරාධිපතිනිය හෝ නගර සභාවේ අදාළ බලධාරීන් නිසි ලෙස කටයුතු නොකළ බව ශර්මිලා ගෝනවෙල මහත්මිය අප කල විමසීමකදී සඳහන් කළාය.

” මම මේ පැමිණිල්ල සිදුකලේ 2018 වසරේදී , මා එසේ පැමිණිලි කළේ කිසිදු නිලධාරියෙක්ගෙන් පෞද්ගලිකව පළිගැනීමට නෙවේ. මෙවැනි බලපෑම් ගණනාවක් විවිධ තරාතිරම්වල සේවිකාවන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒ කාන්තාවන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමත් ඉදිරියේදී කාන්තාවන්ට සිදුවන හිංසන වැළැක්වීමත් අරමුණු කරගෙනයි මේ පැමිණිල්ල කලේ , මගේ පැමිණිල්ල අනුව කමිටුවකුත් පත් කල නමුත් එයින් කිසිදු සාධාරණයක් සිදුවුනේ නැහැ. පරීක්ෂණ යට ගිය , නමුත් තවමත් එම ලිංගික හිංසනයන් , අපයෝජනයන් සිදුවන බව , අලුතින් ඉදිරිපත්වී ඇති පැමිණිලි වලින් තහවුරු වෙනවා ” යයිද ගෝනවෙල මහත්මිය පැවසීය