ප්‍රබෝධා හෙට්ටිආරච්චි
චීනයේ සිට ආනයනය කර ඇති කාබනික පොහොර මෙරට ප්‍රමිතීන්ට අනුකූලව රැගෙන එන තෙක් එම නෞකාව රට තුළට ඇතුළු කර නොගන්නා අතරම මුදල් ගෙවීමක් ද සිදුනොකරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහතික වෙයි.
ඊයේ (26) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, “මට කියන්න තියෙන්නේ මම ඔබතුමන්ලාට සහතිකයක් දුන්නා ආණ්ඩුව හැටියට අපි මේ ඇවිල්ලා තියෙන නැව ඇතුළට ගන්නෙත් නෑ. මේ නැවේ පොහොර සාම්පල ආයේ ටෙස්ට් කරන්නෙත් නෑ. මේ පොහොර නැවට මුදල් ගෙවන්නෙත් නෑ. අපේ ටෙන්ඩර් එකේ ගිවිසුමට අනුව මේ අය නැවත ගිහින් හරි පොහොර ටික හදලා අපේ ෆර්සිෆිකේෂන් එක අනුව ආවොත් අපි පොහොර ටික ගන්නවා. අපි මුදල් ගෙවනවා. කතාව එතැනින් අවසානයි” යනුවෙනි.
මෙරට ජාතික ශාක නිරෝධායන මධ්‍යස්ථානය මගින් දෙවරක් එහි සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු අර්වීනියා නමැති අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වූ බැවින් එම නැව ප්‍රතික්ෂේප කිරීමට රජය කටයුතු කර තිබුණි. එසේ තිබියදී එම පොහොර සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ එම සාම්පල පරීක්ෂාව සැකසහිත බවත් දෙපාර්ශ්වයම එකඟ වන ආයතනයකින් එම පොහොර තොගයෙහි සාම්පල පරීක්ෂාවක් නැවත කළ යුතු බවත් ය. එහිදී බක්ටීරියා නොමැති බවට තහවුරු වුවහොත් වහාම මුදල් ගෙවා පොහොර තොගය ලබාගෙන පමණක් නොව එම පුවත් පළ කළ මෙරට මාධ්‍ය එම පුවත් නිවැරැදි කිරීමක ද යෙදිය යුතු බව නිවේදනයේ දැක්විණ. එපමණක් නොව, මෙම පොහොර නැව ප්‍රතික්ෂේප කළහොත් ඉදිරි චීන ආයෝජකයන් වෙත ශ්‍රී ලංකාවේ ආයෝජනය කෙරෙහි බලපෑම්සහගත ලෙස කටයුතු කිරීමට එම සමාගම පියවර ගන්නා බවට ද නිවේදනයේ සඳහන් කර තිබුණි.