යුරෝපයෙත් ගෑස් හිඟයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුරෝපා සංගමය හා බෙලරූස් රාජ්‍යය අතර දේශසීමා සම්බන්ධයෙන් උද්ගත වී ඇති අර්බුදය හමුවේ යුරෝපයට සිදුකෙරෙන ගෑස් සැපයුම අත්හිටුවන බවට බෙලරූස් රාජ්‍යය අනතුරු අඟවා  ඇත .

ඒ අනුව දේශසීමා අර්බුදය පදනම් කර ගනිමින් සිය රටට සම්බාධක පැනවීමට කටයුතු කළහොත් යුරෝපයට සිදුකෙරෙන ගෑස් සැපයුම අත්හිටුවන බවට බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මාධ්‍ය හරහා අවධාරණය කර ඇත

බෙලරූස් රාජ්‍යය හා යුරෝපා සංගමය අතර මෙම දේශසීමා අර්බුදය හටගෙන ඇත්තේ බෙලරූස් රාජ්‍යයේ දේශසීමාවේ සිට පෝලන්තය හා ලිතුවේනියාව හරහා යුරෝපයට ඇතුළුවන සංක්‍රමණිකයින් පසුබිම් කරගෙනය. ඒ අනුව යුරෝපයට ඇතුළුවීමට ඉරාකය, සිරියාව සහ යේමනය යන රටවලින් බෙලරූස් රාජ්‍යයට ගුවන් මගින් පැමිණ සිටින දහස් ගණන් සංක්‍රමණිකයින් දැඩි ශීත කාලගුණය ද නොතකා පෝලන්ත දේශසීමාව ආසන්නයේ මේවනවිටත් රැඳී සිටි .

එලෙස අනවසරයෙන් යුරෝපයට ඇතුළුවීමට උත්සහ කරන සංක්‍රමණිකයින්ට සහය දෙමින් බෙලරූස් රාජ්‍යය, යුරෝපයේ ආරක්ෂාව අවදානමකට ඇද දමමින් ඇති බවටයි යුරෝපා සංගමය චෝදනා නගන්නේ. කෙසේවෙතත් බෙලරූස් ජනාධිපතිවරයා එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත

දේශසීමා අර්බුදය පදනම් කර ගනිමින් තවදුරටත් සිට රටට බලපෑම් එල්ල කිරීමට උත්සහ කළ හොත් රුසියාවේ සිට සිය රට හරහා යුරෝපයට සිදුකෙරෙන ගෑස් සැපයුම අත්හිටුවන බවයි බෙලරූස් ජනාධිපතිවරයා පැවසුවේ. එබැවින් සිය රටට එරෙහිව වාග් ප්‍රහාර එල්ල කිරීමට පෙර ගෑස් සැපයුම අත්හිටුවුවහොත් සිදුවන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් සිතා බලන ලෙයසි බෙලරූස් රාජ්‍යය පෝලන්තයට හා ලිතුවේනියාවට අනතුරු අගවා සිටියේ.

බෙලරූස් ජනාධිපතිවරයා යුරෝපයට එලෙස ප්‍රබල අනතුරු ඇගවීමක් සිදුකරන්නේ යුරෝපය තුළ මේවනවිටත් ස්වභාවික ගෑස් හිගයක් පවතින පසුබිමක් තුළයි. එමෙන්ම යුරෝපය තුළ මේවනවිට ගැස් මිල ඉහළ යමින් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.