රට තුළ උද්ධමනය, අඛණ්ඩව දෙවන වරටත් අදින් අවසන් වූ නොවැම්බර් මාසයේදී පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ගෙවුණු ඔක්තෝබර් මාසයේ පැවති සියයට 66.0හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 61.0ක් දක්වා පහළ ගියේය.
ආහාරවල උද්ධමනය ගෙවුණු ඔක්තෝබර් මාසයේ පැවති සියයට 85.6හි සිට මේ මාසයේ දී සියයට 73.7 දක්වා පහළ ගියේය.
ආහාර නොවන භාණ්ඩවල උද්ධමනය ගෙවුණු ඔක්තෝබර් මාසයේ පැවති සියයට 56.3හි සිට නොවැම්බරයේදී සියයට 54.5 දක්වා පහළ ගොස් ඇත.
ගෙවුණු ඔක්තෝබර් මාසයේ දක්නට ලැබුණු කො.පා.මි. දර්ශකයේ මාසික වෙනසෙහි අඩු වීම, නොවැම්බර් මාසයේ දී සියයට 0.50කින් තවදුරටත් පහළ ගියේය.
මෙයට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් මාසිකව සියයට 0.53කින් පහළ යෑමයි.
ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, කුකුල් මස්, නැවුම් මත්ස්‍ය සහ කරවල මිල ගණන්හි සැලකිය යුතු පහළ යෑම් දක්නට ලැබුණි.
එසේ වුවද, මෙම මාසය තුළ දී කිරි පිටි මිල ගණන් ඉහළ ගියේය.
මේ අතර, නොවැම්බර් මාසයේ දී සෞඛ්‍ය අංශයේ එනම් පෞද්ගලික රෝහල් ගාස්තු, වෛද්‍ය/ ෆාමසි නිෂ්පාදන මිලදී ගැනීම් සහ රෙදිපිළි සහ පාවහන් යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයේ මාසික ඉහළ යෑමක් වාර්තා විය.
කෙසේ වුවද, මෙම නොවැම්බර් මාසය තුළ දී ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්) සහ නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නඩත්තු කිරීම්/ පිළිසකර කිරීම්, එල්.පී. ගෑස්) උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් පහළ යෑම, ආහාර නොවන භණේඩවල සමස්ත මාසික ඉහළ යෑම සැලකිය යුතු ලෙස අවම කිරීමට හේතු විය.
තවද, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, ගෙවුණු ඔක්තෝබර් මාසයේ පැවති සියයට 38.3හි සිට මේ මාසයේ දී සියයට 42.6 දක්වා ඉහළ ගියේය.
ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 49.7හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 49.4 දක්වා පහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 27.8හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 31.4 දක්වා ඉහළ ගියේය.