සිඩ්නි නුවර , “මුල්ලිවයික්කාල්” ස්මාරකයක් එළිදකී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ සිවිල් යුධ ගැටුම් පැවති සමයේ මිය ගිය දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා ඉදිකළ විශේෂ ස්මාරකයක් පසුගිය 16 දා ඕස්ට්‍රේලියාවේ බටහිර Sydney හිදී , නිළ වශයෙන් විවෘත කෙරිණ .

බටහිර සිඩ්නි හි , Pendle Hill ප්‍රදේශයේ පිහිටි Civic Park”උද්‍යානයේ ඉදිකර ඇති මෙම ස්මාරකය “Mullivaikkal Memorial” හෙවත් මුල්ලිවයික්කාල් ස්මාරකය නමින් නම් කර ඇත .

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ද්‍රවිඩ ප්‍රජා එකමුතුවක් විසින් මෙම ස්මාරකය විවෘත කිරීමේ නිළ උත්සවය සංවිධානය කර තිබු අතර ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී දෙමළ ජනතාවට එරෙහිව සිදු වූ බව කියන මිනිස් හිංසන පිළිබඳව අවධානය යොමු කිරීමේ අරමුණින් මෙම ස්මාරකය ඉදිකල බව එම සංවිධායකයින් මාධ්‍ය වෙත පැවසීය .

සිඩ්නිහි Cumberland නගර සභාවේ නගරාධිපතිනී Ola Hamed, මහත්මිය ඇතුළු ඕස්ට්‍රේලියානු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් , ප්‍රජා නායකයින් සහ දෙමළ ඩයස්පෝරාවේ සාමාජික සාමාජිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ .

මෙම සුවිශේෂී ස්මාරකය නිර්මාණය කර ඇත්තේ “කාර්තිගෛ පූ” හෙවත් “නියඟලා “‘ මලක ආකෘතියට අනුවය . එය Tamil Eelam හෙවත් දමිල ඊලාම් ජාතික පුෂ්පය ලෙස සැලකෙන බවත් අනෙකුත් බොහෝ මල් මෙන් පහළට නැමී නොව, මෙම මල ඉහළට වැඩෙන බවත්, සංවිධායකයින් මාධ්‍ය වෙත පැවසීය .

නියඟලා මල වසරකට එක්වරක් පමණක් පිපෙන අතර එය නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඊලාම් සැමරුම් දින සමග සමපාත වන බවත් ඔවුන් මෙහිදී පැවසීය .

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ ඕස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී Hugh McDermott මහතා පැවසුවේ, මෙම ස්මාරකය දෙමළ ජන සංහාරයේදී ජීවිත අහිමි වූවන් සිහිපත් කරන සංකේතයක් බවයි.

“අද අපි දෙමළ ජන සංහාරයේදී අහිමි වූ සියලු ජීවිත සිහිපත් කරනවා. ඔවුන් දෙමළ වීම පමණක් හේතුවෙන් ඉලක්ක කරනු ලැබූ අතර වෙනස්කම්වලට ලක්වුණා. ඔවුන් දෙමළ භාෂාවට සහ දෙමළ සංස්කෘතියට වෛර කළා. නමුත් ඒ සංස්කෘතිය අද ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ බොහෝ ප්‍රදේශවල ශක්තිමත්ව පවතිනවා,” යනුවෙන්ද ඔහු සඳහන් මෙහිදී සඳහන් කළේය ..

ස්මාරකයේ සටහන් කර ඇති පණිවිඩයේ සඳහන් වන්නේ, “සාමය, යුක්තිය සහ නිදහස සඳහා ජීවිත අහිමි කළ දෙමළ ජනතාවගේ කැපවීම සදාකාලිකව මතකයේ තබා ගත යුතුය” යන්නයි.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වූයේ 2009 මැයි 18 වනදා වන අතර එහි 17 වන සැමරුමට සමගාමීව මෙම උත්සවය පැවැත්වීමද විශේෂත්වයක් විය .