සයිබර් අපරාධ මඩින්න රුසියාව සමග එක්වේ!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සයිබර් අපරාධ ඇතුළු අපරාධ මැඩපැවැත්වීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

ඒ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ දිවයිනට පැමිණ සිටින රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සන් මහතා අතර ඊයේ (26) පස්වරුවේ කොළඹදී පැවති හමුවේදීය.

දූෂණය, සයිබර් අපරාධ සහ අනෙකුත් අපරාධ මැඩපැවැත්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර තිබේ.

එහිදී දෙරට අතර නීතිමය සහයෝගීතාව වර්ධනය කර ගැනීම ඇතුළු නීතිමය වශයෙන් වැදගත් කරුණු සහ දෙරටේ සුහදත්වය වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

දූෂණය, සයිබර් අපරාධ සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම දෙරටටම පවතින ප්‍රධාන අභියෝගයක් බැවින් ඒ වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු බව රුසියානු ප්‍රධාන අභිචෝදක ජනරාල්වරයා එහිදී සඳහන් කර තිබේ.

නවීන තාක්ෂණය භාවිතයෙන් සිදුවන සයිබර් අපරාධ, දූෂණ විරෝධී කටයුතු සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම ඇතුළු නීති විරෝධී කටයුතු මර්දනය සඳහා නවීන තාක්ෂණික සහාය ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කර ඇත.

නවීන තාක්ෂණය භාවිතයෙන් සිදුවන සයිබර් අපරාධ, දූෂණ, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය සහ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා තොරතුරු හුවමාරු කර ගැනීම සහ තාක්ෂණික පුහුණුව ලබාදීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බව ද සඳහන් වේ.

මෙම අවස්ථාවට නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ රුසියානු සමූහාණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.