මුස්ලිම් අන්තවාදීන් මඬින්න චීනය කරන දේට රටවල් 22ක් එරෙහි වෙයි

Picture of අසංක

අසංක

චීනයේ ජීවත් වන සුළු ජාතික මුස්ලිම් ප්‍රජාව රඳවා තබන සිරගෙවල් වසා දමා එම ප්‍රජාවට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ලෙස රටවල් 22 ක් චීන රජයෙන් ඉල්ලීමක් කර ඇත.

එම රටවල් 22හි තානාපතිවරුන්ගේ අත්සනින් යුතු ඉල්ලීම ලිපියක් ආකාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයාට භාර දීම පසුගිය 8 වැනිදා සිදුවිය.

ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය ආදී ප්‍රමුඛපෙලේ රටවල් ගණනාවක් මෙම ලිපියට අත්සන් තබා ඇත.

ඔවුන්ගේ බලපෑම වී ඇත්තේ චීනය තුළ සියලු ජාතීන්ට එක සේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු බවයි.

නමුත් ඔවුන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් චීන රජය පවසා ඇත්තේ චීන නීතියට යටත්ව ඕනෑම ජාතියකට චීනය තුළ නිදහසේ සිටිය හැකි බවයි.

එසේම ඔවුන් පවසන්නේ සුළුතර මුස්ලිම් ප්‍රජාව සිරගත කර නැති බවත් ඔවුන් කුසලතා දියුණු කරන ආකාරයේ පුනුරුත්තාපන වැඩපිළිවෙළකට යොමුකර ඇති බවත්ය.

චීනය තුළ අන්තවාදීන් බිහි වීම වැලැක්වීමේ අරමුණෙන් මෙම පුනරුත්තාපන ක්‍රියාවලිය සිදුකරන බව චීන රජය පවසයි.

උයිගුර් ( uighurs ) ලෙස හඳුන්වන මෙම සුළු ජාතික මුස්ලිම් ප්‍රජාව සියවස් කිහිපයකට පෙර තුර්කියේ සිට සංක්‍රමණය වූ සංක්‍රමණිකයන්ගෙන් පැවත එන බව පැවසේ.

බටහිර දිග චීනයේ දුෂ්කර ප්‍රදේශයක මේ ආකාරයේ සුළුතර උයිගුර් මුස්ලිම් ජාතිකයින් ලක්ෂ 10ක් පමණ රඳවා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදහසයි.

පසුගිය මාසයේ ඇමරිකානු සී .එන්. එන් රූපවාහිනී සේවය මෙම ප්‍රදේශයට ඇතුළු වීමට ගත උත්සාහයක් චීන පොලිසිය විසින් වළක්වන ලදී.