ලබන මස අගෝස්තු 02 වනදා ආරම්භ වීමට නියමිත මහනුවර ඇසල පෙරහැර වෙනුවෙන් සියලු කටයුතු මේ වන විට සූදානම්ව ඇති බවත්, මෙවර පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහජන ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරමින් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා
මෙසේ සඳහන් කළේ ය. අගෝස්තු 02 වනදා අලුයම සිවුමහා දේවාල කේන්ද්‍ර කරගනිමින් කප් සිටුවීම සිදු කෙරෙන අතර, අගෝස්තු 02 සිට 04 දක්වා අභ්‍යන්තර දේවාලයන්හි පෙරහැර 05ක් වීදි සංචාරය කිරීමට නියමිතය. අගෝස්තු 05 වනදා පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කෙරෙන අතර අගෝස්තු 05 වනදා සිට 09 වනදා දක්වා පුරා දින 05ක් කුඹල් පෙරහැර 05ක්වී දි සංචාරය කිරීමට නියමිතයි.
අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වෙන්නේ අගෝස්තු 14 වන දිනයි. රන්දෝලි පෙරහැර 05ක් අගෝස්තු 10 සිට 14 දක්වාද, අගෝස්තු 15 වන දින දිවා පෙරහැරද පැවැත්වේ. අගෝස්තු 15 වනදා අලුයම දිය කැපීමේ මංගල්‍යය සිවුමහා දේවාල කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙනු ඇත.
සියලුම පෙරහැර වීදිසංචාරය කිරීමට පෙර නරඹන්නන් පරීක්ෂා කර බලා ආරක්ෂාව තහවුරු කරගත් පසු පෙරහැර වීදි වලට ප්‍රවේශ කරන බවත්, නරඹන්නන්ගේ සනීපාරක්ෂක කටයුතු සහ සුව පහසුව වෙනුවෙන්ද පියවර රැසක් ගෙන ඇති බවත් වැඩිදුරටත් පැවසීය.
වෙනදා මෙන්ම මෙවරද ඇසල පෙරහැර නර්තන කණ්ඩායම් වලින් සහ අලි ඇතුන්ගෙන් විචිත්‍රවත්ව, අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව ද දියවඩන නිලමේවරයා සඳහන් කළේ ය.