සහරාන්ගේ වනාතවිල්ලුවේ පුහුණු කඳවුරෙන් 6ක් අල්ලයි

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු වන සහරාන් හෂීම් පුහුණු කඳවුරක් පවත්වාගෙන ගිය වනාතවිල්ලුවේ ලැක්ටොවත්තේ සිටියදී පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මතයි.

අද අලුයම 1ට පමණ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය ජනවාරි 16 වැනිදා පුපුරණ ද්‍රව්‍ය සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනාගෙන දෙදෙනෙක් ද මේ අය අතර අතර සිටිති.

ඔවුන් දෙදෙනා පිළිබඳ රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ඇප මත නිදහස් කර ඇත.

මොවුන් දෙදෙනා වනාතවිල්ලුවේ පුහුණු කඳවුර පවත්වාගෙන ගිය ලැක්ටොවත්තේ හිමිකරුගේ පුතුන් දෙදෙනා බවට සැකකෙරේ.

එම වත්තේ හිමිකරු ද අද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වේ.

ප්‍රශ්න කිරීමේ දී මොවුන් පවසා ඇත්තේ වත්තේ තිබූ කුකුල් කොටුව ගලවා ගැනීමට පැමිණි බවයි.

එහෙත් දහවල් කාලයේ නොපැමිණ රාත්‍රියේ මෙහි පැමිණි කරුණු ගැන පොලීසියට සැක මතුවී තිබේ.

සහරාන්ගේ ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ ත්‍රස්ත පුහුණු කඳවුරු රට පුරාම පිහිටා ඇති බවට ආරක්ෂක අංශවලට තහවුරු වී ඇත.

එමෙන්ම ඒ සෑම කඳවුරක් තුළටම කිසිවකුට ඇතුල් විය නොහැකි පරිදි අධිකරණ හෝ නීතිමය ආවරණයක් ලබා තිබී ඇති අතර ඒවා ඇත්තේ පොලිස් ආරක්ෂාව යටතේයි.

එහෙත් වනාතවිල්ලුවේ මෙම ස්ථානය එම ආරක්ෂක පියවරෙන් තොරවූ කඳවුරකි.