විදෙස් සංචාරකයන් ගෙන්වා ගන්න අගමැති, ගාස්තු අඩු කරයි

Picture of අසංක

අසංක

ගුවන් තොටුපල ගාස්තු මෙන්ම හෝටල් කාමර ගාස්තුද අඩුකර, සංචාරක කර්මාන්තය නැංවීමට උපරිම සහයක් රජය වෙතින් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටී

විදෙස් සංචාරකයින් ලක්ෂ දෙකකට සංඛ්‍යාවක් පසුගිය මාස දෙක තුල මාස දෙක තුළ ලංකාවට පැමිණ ඇතැයිද , එම ප්‍රමාණය තවදුරටත් වර්ධනය කර ගන්නා බවද අගමැතිවරයා අද( 31) අරලියගහ මන්දිරයේ දි පැවැති මාධ්‍ය හමුවක දි පැවසීය.

රටවල් 48ක් සඳහා ගාස්තු රහිත විසා (Free Visa)නිකුත් කිරිමට පියවර ගත් අතර අගෝස්තු මස 01දා එනම් හෙට සිට එය ක්‍රියාත්මක කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව කඩා වැටීමට ලක්වූ මෙරට සංචාරක කර්මාන්තය මේ වන විට ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් පවතින බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා මෙහිදී පැවසීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ඒ මහතා මෙසේද පැවසීය .

“මැයි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 37,000 ක් දක්වා පහළ වැටුණා. එය දෛනික සාමාන්‍ය 1,260 ක් ලෙස සලකන්න පුළුවන්. නමුත් අපිට ජූනි මාසයේ දී, මැයි මාසයට වඩා 67%ක වැඩිවීමක් වාර්තා වුණා. ජූනි මාසයේ දී 63,000 ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබුණා.“

“ජූලි මාසයේ අපට 25 වනදා දක්වා දත්ත තිබෙනවා. ඒ අනුව ජූලි මාසයේ සෙසු දින සඳහා සිදුකරන ලද පුරෝකථනයන්ට අනුව 117,000 ක පමණ සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සඳහන් කරන්න පුළුවන්. මෙය එම ප්‍රමාණයට වඩා වැඩිවෙන්නත් පුළුවන්. ඒ අනුව ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීමෙහි වර්ධනය 80% ඉක්මවා තිබෙනවා.“