ඉදිරි මාස 3ට අත්‍යාවශ්‍ය භාණ්ඩ 27කට සහන මල්ලක්

Picture of අසංක

අසංක

ඉදිරි මාස තුනක් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27 ක ස්ථාවර මිළගණන් පවත්වා ගැනීමේ ගිවිසුමට අද (03) දින වෙළෙඳ අමාත්‍යාංශයේදී අත්සන් තබා තිබේ.

මෙම ගිවිසුම ප්‍රකාරව රතු කැකුළු, සුදු කැකුළු, සුදු නාඩු, සම්බා, කීරි සම්බා, තිරිඟු පිටි, සුදු සීනි, දුඹුරු සීනි, තේ කොළ, රතු පරිප්පු-ඕස්ට්‍රේලියන්, ලොකු ළූණු-ඉන්දියන්, අර්තාපල්-දේශීය, අර්තාපල්-පකිස්තාන්, කඩල, වියළි මිරිස්, ටින් මාළූ-දේශීය, ටින් මාළු- ආනයනිත, හාල්මැස්සන්- තායිලන්ත, කුකුළු මස් (සම සහිත), ලුණු කැට, කිරිපිටි, සෝයාතෙල්, රෙදි සෝදන සබන්, රෙදි සෝදන බාර් සබන්, සුවඳ සබන්, දෑත් සෝදන දියර, මුව ආවරණ(SLS සහතික ලත්) යන භාණ්ඩ වර්ග 27 ක මිළ ඒ අනුව ස්ථායීකරණයෙන් යුතුව ඉදිරි මාස තුනක් සඳහා පවත්වාගෙන යනු ලබයි.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත වෙළෙඳ අමාත්‍යාංශය මඟින්, මිළ ස්ථායීකරණ ව්‍යාපෘතිය සඳහා තෝරා ගැනුණු දේශීය නිෂ්පාදකයන් හා ඍජු ආනයනකරුවන් සමඟ ගිවිසුම්ගත විය.

මෙම අවස්ථාවේදී ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය යටතේ එළඹෙන ලද ගිවිසුම ප්‍රකාරව නිසි ගුණත්වයෙන් යුත් ජනජීවිතයට අත්‍යවශ්‍ය වන මෙම පාරිභෝගික භාණ්ඩ පවත්නා මිළට වඩා අඩු මිළගණන් යටතේ පාරිභෝගිකයා වෙත ලබා දීම සඳහා මෙතුළින් හැකියාව ලැබෙනු ඇති බවයි.

එමෙන්ම තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රාජ්‍ය අංශයෙන් මෙන්ම පෞද්ගලික අංශය මඟින් මෙවැනි ජාතික වශයෙන් වැදගත් කර්තව්‍යයක් සඳහා සිය එකඟතාවය පළ කිරීම ඉතා අගය කළ යුතු කර්තව්‍යයක් වන බවයි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලබා ගනිමින් දැනට වෙළෙඳපොලේ පවත්නා මිළට වඩා අඩු මිළකට ජනජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ පළමු අදියර වශයෙන් ඉදිරි මාස තුනක් සඳහා මෙය ක්‍රියාත්මක ය.

එමෙන්ම ගිවිසුම්ගත වූ පරිදි ඉදිරි මාස තුන තුළදී සිය නිෂ්පාදනයන්ගේ ගුණත්වය ඒ ආකාරයෙන්ම පවත්වා ගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.