මාස තුනක් යනතුරු සිකුරාදා දින රාජ්‍ය සේවකයන්ට නිවාඩු!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කෘෂිකාර්මික හා වගා කටයුතුවල යෙදීම පිණිස රාජ්‍ය නිලධාරින් ධෛර්යවත් කිරීම අරමුණුකර ගනිමින් රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ඒ ඉදිරි මාස තුනක කාලයක් සඳහාය.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මේසේය.

දැනට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මගී ප්‍රවාහනයට බාධා පැමිණ ඇති අතර, එම තත්ත්වය යටතේ රාජ්‍ය අංශයේ සේවකයින්ට සිය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම ගැටලුවක් බවට පත් වී තිබේ.

මෙම තත්ත්වය යටතේ සතියේ රාජකාරි කරනු ලබන එක් (01) දිනක් සඳහා රජයේ නිලධාරින්ට නිවාඩු ලබා දී ඉදිරියේදී ඇති විය හැකි යැයි අපේක්ෂිත ආහාර හිඟයට පිළියමක් වශයෙන් සිය ගෙවතු ආශ්‍රිතව හෝ වෙනත් ස්ථානයක කෘෂිකාර්මික කටයුත්තක නිරත වීම පිණිස ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.

ඒ අනුව, ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා වැනි අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර ඉතිරි රාජ්‍ය ආයතන ඉදිරි මාස 03ක කාලය තුළ සිකුරාදා දිනවල වසා තැබීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.