වෙනිසියුලාවේ බල පෙරළියක් – ඇමෙරිකාවට චෝදනා

Picture of අසංක

අසංක

අමෙරිකාව තම රටෙහි ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණය කළ බවට වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ චෝදනා කරයි.

මධුරෝ මේ බව ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු උප ජනාධිපති මයිකල් පෙන්ස් විසින් “බලයට ඒමට කිසිදු නීත්‍යනුකූල අයිතිවාසිකමක් නැති ඒකාධිපතියා” ලෙස සදහන් කරමින් මධුරෝට පිළිබද වීඩියෝවක් සමාජ ජාල වෙත මුදාහැරීමෙන් පසුවයි.

දිගින් දිගටම මැතිවරණ වර්ජනය කරන මධුරෝ සිය දෙවන ධුර කාලය පසුගිය 10 වැනිදා ආරම්භ කළේය.

මධුරෝගේ පාලනයට එරෙහිව එරට විපක්ෂය විසින් දැවැන්ත රැළියක් ඊයේ පැවැත්වූ අතර විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ තමන් එරට අන්තර්වාර ජනාධිපතිවරයා බවට එහිදී ප්‍රකාශයට පත්කළේය.
ඉන්පසුව ඇමෙරිකාව හා යුරෝපා සංගමය වහාම එය පිළිගෙන නව අන්තර්වාර ජනාධිපතිවරයාට සහය දක්වන ලෙස සෙසු රටවලින් ඉල්ලා සිටියේය.

ඉන්පසුව අමෙරිකාව සමග තම රටෙහි රාජ්‍ය තාන්ත්‍රික සබදතා අත්හිටුවීමට පියවර ගන්නා බව නිකොලොස් මධුරෝ පවසා තිබුණි. ඒ පිළිබද තම විදේශ කටයුතු අමාත්‍යවරයාට නියෝග කර තිබුණේ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් සියලුම දෙනා පැය 72ක් තුළ වෙනිසියුලාවෙන් ඉවත් වන්නැයි නියෝගයක් ද ලබාදෙමිනි. 
එරට ජනාධිපතිවරයාට බලය පවතින්නේ එරට හමුදාවෙන් ලැබෙන සහයෝගය මතයි.

නිකොලොස් මධුරෝට එරෙහිව ඇතැම් හමුදා සොල්දාදුවන් කටයුතු කරමින් සිටින අතර එලෙස එරෙහි වූ සොල්දාදුවන් 11 ‌දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

විපක්ෂනායකවරයා තමන් අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත්කිරීම සදහා අමෙරිකාව සහ යුරෝපා සංගමයේ සහය ලබාගෙන ඇති බව ද එරට වාර්තා පෙන්වා දෙයි.

වෙනිසියුලානු ව්‍යවස්ථාවට අනුව රටේ ජනාධිපති ධුරය හිස්ව පවතින විට දින 30 ක් තුළ ජනාධිපතිවරණයක් කැදවීම අනිවාර්යය වේ.