විශේෂාංග


Share now!

ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ ‘ලොකු අයියා’ය. ශ්‍රී ලංකාව ඉන්දියාවේ බාල සහෝදරයාය . ඈත අතීතයේ සිටම අප දෙරට අතර පැවතියේ එවැනි සබඳතාවයකි . විටෙක රණ්ඩු වෙමිද ,නැවත යාලු වෙමින්ද , ඉන්දු ලංකා සබඳතා මෙසේ ඉදිරියට ඇදී ආවේය ..

නේරු සහ බණ්ඩාරනායක පවුල අතර තිබූ දැඩි බැඳීම නිසාම එම වකවානුවේ දෙරට අතර සබඳතා ඉතා ශක්මත්වූ අතර මෙරට පිළිබඳ ඉන්දියාවේ දේශපාලන තීරණවලදී තදින්ම බලපෑ සාධකයක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද ඉන්දීය කොංග්‍රසයේද සලකුණ වූයේ ‘අත’ ලකුණ වීම කැපී පෙනෙන සාධකයකි. විශේෂයෙන් 1921 සිට කච්චතිව් දූපත පිළිබඳ පැවැති ගැටලුව 1972 ශ්‍රී ලංකාව ජනරජයක් වූ පසු දකුණු ඉන්දියානු දේශපාලනය නැවත කරළියට ගෙනාවේය.

1974 ඉන්දිරා ගාන්ධි සහ බණ්ඩාරනායක මැතිනිය එම ගැටලුව විසඳා ගත්තේ එම දූපත ශ්‍රී ලංකාවේ අයිතියට යටත් කරමින්ය.

1977 ජේ.ආර්. ජයවර්ධන මෙරට බලයට පැමිණ ආසියානු කලාපයට නිදහස් වෙළෙඳ ආර්ථිකය හ¾දුන්වාදීමත් සමඟ චීනයේ ඩෙන් ෂියා ඕ පෙන් සහ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ පැමිණ එම ආර්ථික මොඩලය පිළිබඳ ජේ.ආර්.ගෙන් ඉගෙන ගත් බව රහසක් නොවේ.

මෙම ආර්ථික මොඩලය ඔස්සේ ලංකාව ඉදිරියට ආවොත් ආසියාවේ ඉතා දියුණු රටක් බවට ලංකාව පත්‍ වනු දුටු ඉන්දියානු කෞටිල්‍යයන් එය කෙසේ හෝ අඩපණ කිරීමට තීරණ ගත්තේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සහ ජේ.ආර්.ගේ කට කැඩිච්ච කතා නිසා ඉන්දියාව අපිට තිස් අවුරුදු බෙදුම්වාදී අරගලයක් ආනයනය කළේය. ඒ තුළින් අපේ රටට වූ විනාශය අමුතුවෙන් කිවයුතු නැත.

2009 මැයි 18 වැනිදා එම තිස් අවුරුදු යුද්ධය අවසන් විය. නැවත වතාවක් අපේ රට ආර්ථික වශයෙන් හිස ඔසවා ගැනීමට තිබූ අවස්ථාව එවක සිටි පාලකයන්ගේ අදූරදර්ශී දේශපාලන ආර්ථික න්‍යාය පත්‍ර හේතුවෙන් යළිත් මේ දක්වා මඟ හැරී ගොස් ඇත.

අසල්වැසි ලොකු අයියාද බටහිර රටවල්ද රාජපක්ෂ විරෝධය සමඟ අපේ රටට දිගින් දිගටම ආර්ථික කකුල් වෙට්ටු දමද්දී චීනය අපේ රටට අත දිගහැර ණය දෙන්න ගත්තේය. පෙරේත තට්ටුවට වට වූ මළ පෙරේතයන් සේ අපේ පාලකයන් චීනයෙන් අත දිගහැර දුන් සල්ලි පොදි ගහ ගන්න ගත්තේය.

චීනයේ මෙම මැදිහත්වීම දරා සිටීමට නොහැකි වූ ඉන්දියාව මේ රටේ දේශපාලන ඔළු එහාට මෙහාට කර අවසානයේ 2020 නැවත වරක් ආණ්ඩුව අල්ලා ගෙන අපේ රටට දේශපාලන සහ ආර්ථික තොණ්ඩුව දැමීම සඳහා ණය උගුල් ඇටවීය.

2021 ජූලි 8දා මුදල් අමාත්‍ය ධුරයට පත් බැසිල් රාජපක්ෂ මෙරට පැවැති රාජ්‍ය තාන්ත්‍රික ආර්ථික හා දේශපාලන සම්ප්‍රදායන් නොසලකා හරිමින් දැඩි ඉන්දියානු ගැති ප්‍රතිපත්තියකට යමින් ලංකාව ඉන්දියාවේ ඉදිරියේ පුලන්නකු බවට පත් කළේය.

මේ එම ණය තොණ්ඩුවේ ඉතිහාස කතාවයි.

පැහැදිලි ගණනය කිරීමකදී ඉන්දියාව 2020 ජූලි මාසයේ සිට 2022 ජුනි මාසය දක්වා අපට ලබාදී ඇති ණය සහ එ්වා ලබාදුන් විෂයයන් මෙසේය.

2020 ජූලි මෙරට පැවැති කොරෝනා තත්ත්වය මත ඉන්දියාවේ ආර්.බී.අයි. බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක හුවමාරු ණයක් ගත්තේය. ඉන් පසු 2021 නොවැම්බර් බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් අත්‍යවශ්‍ය (ආහාර හා ඔෟෂධ වැනි) ද්‍රව්‍ය ගැනීමට ඩොලර් බිලියනයක ණයක්ද ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 500ක ණයක්ද ලබා ගත්තේය.

2022 ජනවාරි 13දා නැවත වරක් ඉන්දියානු රජය ඩොලර් මිලියන 900ක මූල්‍ය හුවමාරු පහසුකමක් (ණයක්) ලබා දුන්නේය. 2022 ජනවාරි 18 වැනිදා ඉන්ධන ගැනීමටම නැවත ඩොලර් මිලියන 500ක ණයක්ද ඉන්දීය රජයද (Line Of Credit)) පෙබ. 02දා ඉන්ධන ගැනීමටම තවත් ඩොලර් මිලියන 500ක කෙටිකාලීන ණයක් එක්සිම් බැංකුවද මාර්තු 12දා ඉන්දියාවේ ආර්.බී. අයි. බැංකුවද ඉන්ධන ගැනීමට තවත් ඩොලර් මිලියන 500ක ණයක් ලබා අපට දුන්නේය.

මාර්තු 17 වැනිදා ආහාර, ඔෟෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඩොලර් බිලියනයක තවත් ණය ගිවිසුමකට ගියේය.

(මැයි 22) මෙරටට හාල් සහ කිරිපිටි ලබා ගැනීමට තවත් ඩොලර් මි. 16ක ණයක්ද ඉන්දියාවෙන් ගත්තේය.

ජුනි 10දා යූරියා පොහොර ගැනීමට ඩොලර් මිලි. 55ක් සහ ජුනි මාසයේම නැවත ඩොලර් මිලියන 40ක ණයක් සඳහා එක්සිම් බැංකුව සමඟ ශ්‍රී ලංකා රජය අස්සන් තැබීය.

සාමාන්‍ය ගණනය කිරීමේදී තහවුරු වන්නේ 2020 ජූලි මාසයේ සිට 2022 ජූනි මාසය දක්වා කාලය තුළ අප රට ඉන්දියාවෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 5,411 ණය අරගෙන ඇති බවය.

මේ ලබාගත් කිසිදු ණය මුදලක් මේ රටේ සංවර්ධන ක්‍රියාවලියකට යොදාගෙන නැත. ඉන්ධන පොහොර, ආහාර සහ කිරිපිටි සඳහා පමණක් මෙම දැවැන්ත මුදල ඉන්දියාව අපට මුදාහැර ඇත. ඉන් ඩොලර් මිලියන 2,000ට ආසන්න මුදලක් අපි වැයකර ඇත්තේ ඉන්ධන සඳහාය.

ඉන්දියාව අපට මේ ණය ආධාර ලබා දෙන ගමන් ඊට සමගාමීව ඔවුන්ගේ ශ්‍රී ලංකාවට අදාළ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික මෙහෙයුම් න්‍යාය පත්‍ර එකින් එක ඉදිරියට ගත්තේය. ණය තොණ්ඩුව සමඟ තද වෙත්දී ඔවුන්ගේ ඉල්ලීම්, කොන්දේසි සහ බලපෑම්ද තව තවත් තද කරන්න ඉන්දීය කෞටිල්‍යයන් අමතක කළේ නැත.

ඒ පෙළගැස්ම ඉතාම අපූරුවට මේ ලෙස අපට හ¾දුනා ගත හැකිය.

2020 ජූලි මාසයේ අපට ණයදීම ⁣අරඹමින් ඉන්දියාව සිය මෙහෙයුම් ඇරඹීය.

2021 ජනවාරි මෙරටට පැමිණි ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජෙයක්‍රිෂ්ණන් පළමුව ටී.එන්.ඒ. නායකයන් සමඟ පැවැත් වූ සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකාවට ලබා දුන් පණිවුඩය වූයේ, මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනය ගෙනාවේ 1987 ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අස්සන් කළ ගිවිසුම අනුව බවත් ඒ අනුව එහි එකඟතා සම්පූර්ණ කිරීම ආණ්ඩුවේ වගකීමක් බවය. එසේම 2009 යුද්ධය අවසන් කළ පසු මේ පිළිබඳව පැවැති ආණ්ඩුවලට දන්වා සිටියද ඔවුන් කිසිදු සාධනීය ප්‍රගතියක් මේ දක්වා පෙන්වා නැති බවත් 13 ව්‍යවස්ථාව බලාත්මක කිරීම දෙරට සම්බන්ධතාවලදී බලපාන සාධකයක් බවය. මෙම ඉන්දියානු නියෝජිතයන් මේ පිළිබඳ ප්‍රබල හා තදබල පණිවුඩයක් ශ්‍රී ලංකා රජයට දුන් බව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කර තිබුණි.

2021 ඔක්තෝබර් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් මෙරට ඉන්දීය ව්‍යාපෘති අනවශ්‍ය ලෙස ප්‍රමාදවීමට හේතු වූ කරුණු හැදෑරුවේය.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ව්‍යාපෘතිය ඉදිරියට ගැනීම, අදානි සමාගමට අදාළ කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ ගිවිසුම වේගවත් කිරීම, ඉන්දීය සාගර කලාප සමුද්‍ර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ කොළඹ ආරක්ෂක සමුළුවේ කටයුතු ප්‍රසාරණය කිරීම, ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම, මන්නාරම කේන්ද්‍ර කර ගත් දිවයිනේ බලශක්ති සහ සුළං විදුලි උත්පාදනයේ ඉන්දීය ආයෝජනයන්ට ඇති අවස්ථාව යන ව්‍යාපෘති අංශ පිළිබඳ ඔහුගේ දැඩි අවධානය යොමු වී තිබුණ බව The print India වෙබ් අඩවිය පෙන්වාදී ඇත.

(මේ වන විට ඉන්දියාව අපටදී ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1400කි.)

ඉන්දීය විදේශ ලේකම්ගේ නිරීක්ෂණයෙන් පසු 2022 ජනවාරි 6 වැනිදා ඇති වූ බලපෑම් තෙරපුම මත 1987 ගිවිසුම 2022 අවසන් වී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ලංකාවට හිමි වුවද 2017 මලික් – සුෂ්මා ගිවිසුම යටතේ තෙල් ටැංකි 99 අනුනව අවුරුදු බද්දට LIOC සමාගමට දුන්නේය.

1987 ජූලි 29 ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය රජය එකඟ වී, පසුව 2003 පෙබරවාරි 7, ලංකා IOC සමාගමට එම ටැංකි අනූනවයම වසර 35කට බදු දීමේ ගිවිසුමක් අස්සන් කළා. නමුත් ලංකා IOC සමාගම ඵලදායී කාර්යකට යොදා ගත්තේ ටැංකි 14ක් පමණක් බවත් සෙසු ඉන්ධන ටැංකි දිරාපත් වෙමින් පවතින බව දිගින් දිගටම වාර්තා විය. පසුව මෙම තෙල් ටැංකි 99ම 99 අවුරුදු බද්දට යහපාලන ආණ්ඩුව 2017දී LIOC සමාගමට දුන්නේය.

බැසිල් ඇරඹූ ණය ගනුදෙනු සිදුවෙද්දී මෙම ගිවිසුම අස්සෙන් ඉන්දියානු තෙල් සංස්ථාවට මෙම තෙල් ටැංකිවලට ප්‍රවේශවීමට අනුමැති උගුල අටවා ගැනීමට ඉන්දියාව රජය සමත් විය.

ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දීයාවට නතු කර ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව තර්ජනයට ලක් කරමින් ධනුෂ්කොඩියේ සිට ත්‍රිකුණාමලයට කෙටිම මාර්ගයක් ඉදිකිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ ඒ දවස්වලම පෙන්වා දුන්නේය.

ඒ අතර ඉන්දියාව ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත පරිශ්‍රයේ මෙගාවොට් සියයක විදුලි ජනන පද්ධතියක් පිහිටුවීමටද අර අඳිමින් සිටී.

මේ ණය පදනම් කරගෙන මෙරට උතුරු හා නැඟෙනහිර දෙමළ දේශපාලන බලවේග තමන්ගේ බෙදුම්වාදී අරමුණු සාක්ෂාත් කරගැනීමට මෙම අවස්ථාව ප්‍රබල වරමක් ලෙස සලකමින් 2022 ජනවාරි මැද භාගයේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් හමු වී ඉන්දීය අගමැතිවරයා අමතන ලද පිටු හතකින් යුක්ත ලිපියක් භාර දුන්නහ.

එහි සාරාංශගත ප්‍රධාන ඉල්ලීම් මෙසේය.

එක්සත් නොබැ¾දුණු රටක් තුළ බලය විමධ්‍යගත කිරීමක් නොව බලය බෙදීමක් සහ 13 වැනි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරමින්, ස්වයංනිර්ණ අයිතිය හිමිවන ෆෙඩරල් විස¾දුමක් මත පිහිටි දේශපාලන විස¾දුමක් අවශ්‍යයි. මෙම ඉල්ලීම් කොළඹ ආණ්ඩුවට බලපෑම්සහගතව ඉදිරිපත් කරන ලෙස ඔවුන් ඉන්දියාවෙන් ඉල්ලා සිටි බව ඉන්දියාවේ The Hindu පුවත්පත පෙන්වාදී ඇත.

මේවා එකම නාට්‍ය ජවනිකා බව කාට වුවද තේරුම් ගත හැකිය.

නාටකයේ ඊළඟ ජවනිකාව කඩිනමින් වේදිකාවට එන්නේ පෙබරවාරි 27 වැනිදා කොළඹ වරාය බටහිර ජැටියේ අයිතියෙන් 51% ඉන්දියාවේ අදානි සමාගමටද 34% ඔවුන්ගේ ලංකාවේ හවුල්කරු ජෝන් කීල්ස් සමාගමටද 15% වරාය අධිකාරියටද වන පරිදි එම බදු ගිවිසුමට අස්සන් තබමින්ය.

අපේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට යැයි කියා මාර්තු 11 වැනිදා ඩොලර් බිලියනයක ණයක් ඉන්දියාව ප්‍රදානය කරමින්, පෙර කී පරිදි ත්‍රිකුණාමලයේ මෙගාවොට් 100ක සූර්ය බල විදුලි ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාව සමඟ හවුල් ව්‍යාපෘතියකට ඉන්දියාව අස්සන් තැබීය.

එසේම මන්නාරමේ සහ පුනරින්හි විශාල පරිමාණයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දෙකක් ඇරඹීමට ශ්‍රී ලංකා රජය හා අදානි සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක්ද අස්සන් තැබුවේ මේ දිනවලමය.

2022 මාර්තු 26ට ආසන්න දිනයක ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා ශ්‍රී ලංකාව සමඟ සම්පූර්ණ අවබෝධතා ගිවිසුම් හයක් අස්සන් කර ඇත.

ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා (SL-Unique Digital Identity) වැඩසටහන ක්‍රියාත්මක කිරීම, නාවික අනතුරුවලදී ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, උතුරේ දූපත් තුනක හයිබි්‍රඩ් බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය සඳහා සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක නවීන පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පුවරු පිහිටුවීම, සුෂ්මා ස්වරාජ් විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුම එම අවබෝධතා ගිවිසුම් හයයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ ආගමික කටයුතු ප්‍රවර්ධනයටද ඉන්දියානු ආධාර වැඩ සටහනකටද මෙහිදී අස්සන් තැබූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඉන්දියානු ආධාර මත යාපනයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අන්තර්ජාලය ඔස්සේ විවෘත කිරීමද මීට සමගාමීව සිදුවිය.

මේ අතර මැයි මාසයේ ප්‍රචාරය කළ ප්‍රවෘත්තියක් මඟින් ඉන්දීය Wionnews පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව සතු කච්චතිව් දුපතේ පාලනය නැවත ඉන්දියාවට අවශ්‍ය බවට ඉන්දියාව කරුණු කියන බවය.

පසුගිය වසරේ අදානි සමාගම සහ ශ්‍රී ලංකාව අස්සන් කළ ගිවිසුමට (MOU) අනුව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පාවෙන සුළං සහ සූර්ය බලශක්ති විභවයන් පිළිබඳ පරිසමාප්ත ශක්‍යතා අධ්‍යයනයකට අනුමැතිය අදානි සමාගම ජූනි මාසයේ රජයට ඉදිරිපත් කළේය.

එක පැත්තකින් ණය පෙරහරද අනෙක් පැත්තෙන් ගිවිසුම් පෙරහරද පෙළගැස්වීමට ඉන්දියාව කටයුතු කළේය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ඩොලර් බිලියනයක ණයක් ලබාගැනීමට මේ අතරතුර ඉන්දියාවට ගිය බැසිල් රාජපක්ෂට දිල්ලිය ප්‍රබල ඉල්ලීම් දෙකක් පෙරට ගත් බව The India Express පෙන්වා දී ඇත.

පලාලි ගුවන්තොටුපොළ සහ කන්කසන්තුරය වරාය සංවර්ධනය කඩිනම් කර පලාලී සිට ඉන්දියාවට ගුවන් ගමන් ඇරඹීමද කන්කසන්තුරේ සිට ඉන්දියාව දක්වා නාවික ගමනාගමනය ඇරඹීමද කඩිනම් කරන ලෙසද අතීතයේ ක්‍රියාත්මක වූ තලෙයිමන්නාරම් – රාමේෂ්වරන් මගී ප්‍රවාහන නෞකා සේවය යළි ඇරඹීමටද සලකා බලන ලෙසය. (කන්කසන්තුරේ වරාය සංවර්ධනය සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 45ක ණයක්ද පලාලි සංවර්ධනයට ඉන්දීය රජය විශාල මුදලක්ද මීට පෙර ලබාදී ඇතැයි වාර්තා වේ.)

මෙහි ප්‍රතිඵලයක් ලෙස වරාය, නාවික ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජුනි මස 17දා පලාලි හා කන්කසන්තුරේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජූලි පළමුවැනිදා සිට පලාලි ගුවන් ගමන් අරඹන ලෙසද කන්කසන්තුරේ භාණ්ඩ ප්‍රවාහන සේවා අරඹන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නද මේ දක්වා පලාලි ගුවන් තොටුපළෙන් ඉන්දියාවට ගුවන් ගමන් ඇරැඹීමට කිසිදු ගුවන් සේවාවක් ඉදිරිපත් වී නැත.

ඉන්දියානු අවශ්‍යතාව තවදුරටත් ඉදිරියට යමින් මේ වසරේ ජුනි 27 වැනිදා තමිල්නාඩුව සහ කන්කසන්තුරය අතර භාණ්ඩ ප්‍රවාහන නෞකා සඳහා පැවැති නාවික හමුදා තහංචි ඉවත් කිරීමේ කොළ එළිය දැල්වුණි.

මේ අතර ශ්‍රී ලංකාවට ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා එක්සිම් බැංකුව ලංකාවෙන් ඇපකරයක් ඉල්ලා සිටි බවටද වාර්තා පළ වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ‍ෙදා් ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපෘති කඩිනම් කිරීමට ශ්‍රී ලංකා රජයට තෙරපුමක් ඇති කිරීමට මේ වසරේ ජුනි 23දා ඉන්දීය රජයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියේය.

අදානි සමාගමට ලබාදී ඇති මන්නාරම – පුනරීන් සුළං බලාගාරය සහ කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය, ඉන්දියාවේ National Thermal Power coporation සමඟ ලංකා රජය ඉදිකරන සාම්පූර්හි යෝජිත සූර්ය බලාගාරය, දෙරට අතර අධි බලැති විදුලි රැහැනක් එළීම, ත්‍රිකුණාමල වරාය කලාපය කාර්මික කලාපයක් ලෙස සංවර්ධනය කිරීම, මන්නාරම් ද්‍රෝණියේ කලාප දෙකක තෙල් ගවේෂණ කිරීම මෙහිදී අවධාරණය කෙරුණු ව්‍යාපෘති විය.

මෙම ණය ව්‍යාපෘතිය සමඟ ඉන්දියාව පෙරට ගත් ප්‍රධාන යෝජනා වන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාව සන්තකයට ගැනීම, කොළඹ වරායේ බටහිර පර්යන්ත අදානි සමාගමට ලබා ගැනීම, උතුරු නැඟෙනහිර දෙමළ දේශපාලන බලවේගවල ඉල්ලීම් පෙරට ගැනීම සහ කච්චතිව් දූපතේ අයිතිය නැවත ඉන්දියාවට ලබා ගැනීමය.

පසුගිය වසර දෙක තුළ ඇමරිකානු ඩොලර් මිලියන 5,400ට ආසන්න ණය මුදලක් අපටදී ඉන්දියාව අප වෙතින් ඉල්ලා සිටි සහ අපේක්ෂා කරන දේ අතර සැඟවුණ මූල්‍යමය, දේශපාලන ආර්ථික හා සංස්කෘතික වටිනාකම හා ලාභ පාඩුව ගණනය කරන්නේ කවුද?

මේසා විශාල ණය උගුලකට ශ්‍රී ලංකාව හිර කළ දෙරටේ දේශපාලනඥයන්ගේ යටි අරමුණු හෙළිදරව් වන්නේ කවදාද?

හම්බන්තොට වරාය සහ පෝට් සිටි වැනි ආර්ථික ව්‍යාපෘති ඉදි කරමින් චීනය අප රටට ඇතුල්වීමද ඉන්දියාවේ ණය උගුලද අපට වඩා හානිකර හෝ ප්‍රතිඵල යන්න කවුරුන් හෝ හැදෑරිය යුතුය.