අගමැති බංගලාදේශයට යයි

Picture of අසංක

අසංක

දෙදින නිල සංචාරයක් සඳහා බංග්ලාදේශය වෙත ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඩකා ගුවන් තොටුපළට පැමිණි අතර බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනා විසින් ඔහු ඇතුළු දූත පිරිස පිළිගනු ලැබීය.

——–

අගමැති මහින්ද රාජපක්ෂ බංග්ලාදේශය බලා අද පෙරවරුවේ පිටත්ව ගොස් තිබේ.

ඒ බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනාවකට අනුව එරට රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් සඳහා ය.

UL 189 ශ්‍රීලන්කන් ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස බංග්ලාදේශය බලා පිටත් විය.

මෙම දෙදින නිල සංචාරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සහ බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් මැතිතුමාගේ ජන්ම ශත සංවත්සර සැමරුමට එක්වීමට නියමිතය.

බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සහ බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් මැතිතුමාගේ 100 වන ජන්ම දිනය සැමරීම සඳහා ප්‍රකාශයට පත් කළ “මුජිබ් වර්ෂය” ට අදාළව අද දින පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ දේශනයක් පවත්වනු ඇත.

මෙම නිල සංචාරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය,බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා සහ බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා ඇතුළු ප්‍රභූන් සමඟ ද්වි පාර්ශවික සාකච්ඡාවලට සහභාගි වෙති.