“හොඳට කාලා බීලා හිටිය අපිට, දැන් දරුවන්ට කන්න දෙන්න වෙලා තියෙන්නෙත් කුකුළන්ට කෑම දානවා වගේ. හිතේ හැටියට කන්න දෙන්න දැන් පුළුවන් කමක් නෑ තියෙන හැටියට තමයි දැන් කන්න දෙන්න වෙලා තියෙන්නෙ. සමහර දවසකට දරුවන්ට කන්න දීලා වැඩිහිටියො තේ කහට කෝප්පයක් බීලා වේල පිරිමහ ගන්නවා.” සමස්ථ ධීවර ජනතාවගේ වර්තමාන තත්ත්වය පිළිබඳ එසේ අදහස් දැක්වූයේ පාසිකුඩා සම්ප්‍රදායික ධීවර ගම්මානයේ නෙවිල් ක්‍රිස්ටි කුරේ(56) මහතා ය.
මිලියන විස්සක් පමණ වන මෙරට ජනගහනයේ පෝෂණ අවශ්‍යතා සපුරන සහ දළ දේශීය නිෂ්පාදනයට විශාල දායකත්වයක් සපයන කර්මාන්තයක් ලෙස ධීවර කර්මාන්තය හැඳින්විය හැක. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව ධීවර කර්මාන්තයේ නියැලෙන පිරිස රටේ සමස්ථ ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ගත් කළ 10%කි. එනම් ලක්ෂ 20කි. එයිනුත් මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් ජීවත් වන ධීවරයින් සංඛ්‍යාව 26,472කි. මොවුන් අතරින් ද හාරදහසකට ආසන්න ධීවරයින් ප්‍රමාණයක් යාන්ත්‍රික නොවන පාරම්පරික යාත්‍රා වලින් දිවි සරි කර ගන්නන් ය.
දශක තුනක් පුරා පැවති යුද්ධය හා සුනාමි ව්‍යසනය හේතුවෙන් රට මැදට තල්ලු වූ ධීවර ජනතාවගේ ජීවන රටාව හා සමාජීය කටයුතු සම්පූර්ණයෙන්ම වෙනස් විය. මූලික වශයෙන් ධීවරයින් ඔවුන්ගේ පාරම්පරික පදිංචි ස්ථාන වලින් ඉවත් කර වෙනත් ස්ථාන වල පදිංචි කිරීම තුළින් ඔවුන් එම සමාජතල අතර හුදෙකලා වීමක් සිදුව ඇත.
විවිධ බාධක මැද ධීවර වෘත්තියේ නිරත වූ පාසිකුඩා ධීවර ගම්මානයේ ජනතාවට මේ වන විට ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබේ. ඉන්ධන මිල ඉහළ යාම, මත්ස්‍ය අලෙවිය පහළයාම, නවීන පන්නයේ විදේශීය යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලීම වැනි නිරාකරණය කිරීමට නොහැකි වූ ගැටලු රැසකට ඔවුන්ට මුහුණ දීමට සිදුව තිබේ. ඊට අමතරව වේගයෙන් ඉහළ යන බඩු මිළ හේතුවෙන් රටේ සමස්ථ ජනයාටම බලපාන පොදු ආර්ථික ගැටලුවට ද ඔවුන් ලක්ව ඇත.
ඉන්ධන මිළ සිව් ගුණයකට ආසන්න ප්‍රමාණකින් ඉහළ යාම නිසා පදිංචි ගම්මානයේ සිට ධීවර කටයුතු වෙනුවෙන් පැමිණීම ද ගැටලුවක් වී ඇත. නැවතත් හඬ අවදි කළ නෙවිල් “අපි පොඩි කාලෙ ජීවත් වුණේ වැල්ලෙ. ගෙදර හැමෝම තාත්තාගෙ වැඩ වලට උදව් වුණා. ඒත් දැන් එහෙම කරන්න බෑ. ගෙදර ඉඳන් වැල්ලට කිලෝමීටර් හතරකට කිට්ටු දුරක් තියෙනවා. ඒ දුර ඉස්සර වගේ වාහනයක එන්නත් බෑ. ෆුට් සයිකල් එකක හරි පයින් හරි තමයි වැල්ලට එන්නෙ.
එදා තෙල් කෑන් තුනකට දෙදාහක් ගෙව්ව අපිට දැන් එක තෙල් කෑන් එකකට දෙදාස් පන්සීයක් ගෙවන්න වෙලා. එක දවසකට තෙල් වලට හත්දාස් පන්සීයක් යනවා. ණයට තෙල් අරන් මූදු යනවා පහුවදාට ආපහු එද්දී ගේන මාළු ටිකෙන් ණය ටික ගෙවනවා. මාළු නොලැබෙන දවසක් වුණොත් ණය පොතට එකතු වෙනවා. ඉඳලා ඉඳලා මාළු යහමින් ලැබෙන දවසක් ආවත් එදාට අපිට ණයට තෙල් දෙන මුදලාලි වැල්ලටම ඇවිත් අන්තිම සතේටම ණය ටික කපා ගන්නවා. ඒ හන්දා මාළු ලැබෙන නොලැබෙන එකේ වෙනසක් නොදැනෙන තරම්. ඒ දවස් වල විශේෂයක් නෑ. හැමදාම එකම විදියට ජීවිතේ ගෙවෙන්නෙ. ඊට අමතරව දරුවන්ගේ ඉස්කෝලෙට වුවමනා බඩු ගන්න දවස් වලට තවත් අසරණ වෙනවා. ලෙඩක් දුකක් හැදිලා දවස් තුනක් හතරක් මුහුදු යන්න බැරි වුණොත් නොකා නොබී ගෙදර හැමෝටම මුහුදට පනින්න තමයි වෙන්නේ.” යැයි ද බිඳුණු හඬකින් පැවසුවේ ය.
විවිධ හේතු නිසාවෙන් ඇතැම් පිරිස් ධීවර වෘත්තියෙන් ඉවත් වී විකල්ප ආදායම් වෙත යොමු වී ඇත. දැනටමත් විශාල පිරිසක් කුලීවැඩ, සංචාරක හෝටල් වල කම්කරු රැකියා, ත්‍රීරෝද රථ ධාවනය, වළං නිෂ්පාදනය, කොසු ඉදල් කර්මාන්තය, මලු, පැදුරු තැනීම ආදී ගෘහස්ථ කර්මාන්ත වැනි විවිධ වෘත්තීන් වෙත යොමු වී සිටිති. නමුත් ඔවුන් තෝරා ගන්නා ලද විකල්ප රැකියා වලද අර්බුද මතු වී තිබේ.
” මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ ඉතා අඩු අධ්‍යාපනයක් ලබා ගත්ත මිනිස්සු. උගත් සමාජය දිහා බලන්නෙත් සැකෙන්. නූගත්කම නිසාම පිටත රැකියා අවස්ථා අඩුයි. විරැකියාව නිසා කෙටි, නීති විරෝධී මාර්ග ඔස්සේ මුදල් උපයන්න පෙළඹෙන පිරිස ඉහළ ගිහින් තියෙනවා. එයාලට අනාගතය ගැන හීන මවන්න වෙලාවක් නෑ. අද දවසෙ කොහොමද බඩ පුරවගන්නෙ කියලා තමයි කල්පනා කරන්නේ. ඒ වගේම තමයි වැඩිපුර මුදලක් හොයාගත්තත් ඒක වැඩිම වුණොත් දවසක්, දෙකක් තියේවි. ඉතිරි කරන්න, ආයෝජනය කරන්න, අරපිරිමැස්මෙන් වියදම් කරන්න තේරුමක් නෑ. වෙළෙඳ පොළ ගැන අවබෝධයක් නෑ. ඒ ගැන කියලා දෙන්න පුළුවන් කමක් තිබුණා නම් මේ ජීවිත වල මීට වඩා වෙනසක් දකින්න පුළුවන් වෙයි.” යැයි පැවසුවේ එම ප්‍රදේශයේම ජීවත් වන ස්වාමි විපුලානන්ද සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන කේ. ගෝපිනී ය. ඇය ගැහැනු දරුවන් සිව් දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමහල් දියණිය වේ. ඇගේ මව, පියා ද නොමැතිව පැදුරු , වට්ටි පෙට්ටි වියා, ඉරටු විකුණා දරුවන් පෝෂණය කරන්නියකි.
විරැකියාවෙන් පෙළෙන කාන්තාවන් වෙනුවෙන් රජය මැදිහත් වී හඳුන්වා දුන් විකල්ප රැකියා මාර්ග ද, එම ස්ථානද මේ වන විට පවතින්නේ අද නැත්නම් හෙට වැසී යන මට්ටමක ය. එයට හොඳම උදාහරණයක් වන්නේ ජාතික ශිල්ප සභාව විසින් ආරම්භ කර පවත්වාගෙන යන පේතාලෛ මැටි භාණ්ඩ නිෂ්පාදන ගම්මානයයි.
“අපි පාරම්පරික ධීවරයෝ. අපේ පවුල්වල පිරිමි අය මුහුදු යන එක තමයි කරේ. 2004 අවුරුද්දේ සුනාමියෙන් පස්සෙ මේ ගමේ ගෙවල් හදලා පදිංචි කළා. නිවෙස් වල ඉන්න කාන්තාවන්ට රැකියා නැති නිසා මැටි භාණ්ඩ නිෂ්පාදන පුහුණු ආයතනයක් ආරම්භ කළා. ඒ 2005 වසරේ. නමුත් පුහුණු වීම් වලින් පස්සෙ ඒ රැකියාවෙ නිරත වෙන්න පුළුවන් කමක් නෑ. සකපෝරුවක් ගන්න, පෝරණුවක් හදාගන්න තරම් වත්කමක් අපිට නෑ. ආයතනය ආරම්භයේ දී ලබා දුන්නු සකපෝරු බොහෝ ප්‍රමාණයක් පාවිච්චියට නොගෙන ශාලාවක් ඇතුලේ ගොඩගහලා තියෙනවා. ඒවා පුහුණු වීම් අවසන් කළ ගමේ කිහිප දෙනෙකුට හෝ ලබා දෙන්න කියා ඉල්ලීම් කළත් ඒවා ලබා දෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් වෙලාවට මේ පුහුණු මධ්‍යස්ථානයට ඇවිත් වැඩ කරනවා. රජයේ නිවාඩු දවස්, ඒ ඇරුණම රාජකාරි වේලාවෙන් බැහැර කාලයේදීත් අපිට වැඩ කරන්න විදියක් නෑ. අනිත් කාරණාව මෙතන වැඩ කරද්දී ලැබෙන්නේ පුහුණුවේදී ගෙවන සුළු දීමනාවක්(මාසයකට රුපියල් 1000ක්) පමණයි. ඒකත් සමහර විට මාස තුන හතරකට වතාවක් තමයි ඒ දාහ ලැබෙන්නේ. මම මුල්ම පුහුණු කණ්ඩායමේ සාමාජිකයෙක්. මට අවුරුදු 18ක වගේ පළපුරුද්දක් තිබුණත් ආදායමක් උපයා ගන්න විදියක් නෑ. තව කෙනෙකුට කියලා දෙන්න වුණත් දැන් මට දැනුමක්, අවබෝධයක් තියෙනවා.
ඒ මොනවා තිබුණත් 2005 ඉඳන් අද වෙනකල් අපේ ජීවිත වල හොඳ විදියේ වෙනසක් සිදු වෙලා නෑ. රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අපි තව තවත් ආපස්සට තමයි යන්නෙ. අපිත් කැමතියි දරුවන්ට සැප පහසුකම් දෙන්න. හොඳට උගන්නන්න. අපි මේ දේවල් කාට කිව්වත් හැමදාමත් වෙන්නේ එකම දෙයයි. කවුරු හරි ඇවිත් දවසකට දෙකකට වැඩිම සුමානයකට කන්න වියලි ආහාර මල්ලක් දෙයි. නමුත් අපිට ඕන කාටවත් ණය නොවී ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්නයි. අපි ස්ථිර විසඳුම් බලාපොරොත්තු වුණත් අපිට හැමදාමත් ලැබුණේ තාවකාලික විසඳුම්. මේ මාධ්‍යයකින් අපි ගැන හොයලා බැලුව පළවෙනි වතාව.ඒ නිසා අපිට මේ වතාවෙ නම් නිවැරදි විසඳුම් ලැබේවි.” යැයි එස්. තවමනී (45) පැවසුවේ බලාපොරොත්තු සහගතව ය.
සදාසිවම් යෝගේන්ද්‍රන්(29) ද පේතාලෛ ගමේ ජීවත් වන එක් දරු පියෙකි. ඔහු සිය පවුල රක්ෂා කරන්නේ කුලී වැඩ වල යෙදෙමින් ය. “මම රස්සාව කලේ කොළඹ කොම්පැනියක. ඒත් කොවිඩ් නිසා මගේ රස්සාව නැති වුණා. ආපහු මට ගමට එන්න වුණා. දැන් මම මෙහේ කුලී වැඩ කරනවා. හැමදාම වැඩ ලැබෙන්නේ නෑ. සමහර දවසකට අතේ සතේ නැතුව ගෙදර එන්නෙ. අපි දෙන්නටම හරි හමන් රස්සාවක් නැති නිසා දරුවා ගැන වෙලාවකට බයත් හිතෙනවා. කොහොමද අපි එයා කරදරයක් නැතුව ලොකු කර ගන්නෙ කියලා. මේ ආයතනයවත් හරියට ක්‍රියාත්මක වුණා නම් ටිකක් හරි හිතේ බර සැහැල්ලු වෙනවා.” ඔහු එසේ කීවේ තවමත් වයස අවුරුද්දක්වත් නොපිරුණු කිරිකැටියා දෙස බලාගෙන ය.
වසර 18 ක් පුරා පේතාලෛ මැටි භාණ්ඩ නිෂ්පාදන පුහුණු ආයතනයේ ස්ථානභාර නිලධාරිනිය ලෙස කටයුතු කරන්නේ ඩබ්ලිව්. අරිය කළ්‍යානිය. ඇය පළමු පුහුණු කණ්ඩායමම තවමත් සේවයේ යොදවා භාණ්ඩ නිෂ්පාදනය කරන්නීය. මේ පිළිබඳ ඇය පවසන්නේ මෙවැනි අදහසකි. “තරුණ ළමයි මේ කර්මාන්තයේ යෙදෙන්න ඒ තරම් උනන්දුවක් නැහැ. ඒ නිසා සෑම වසරකම අලුත් පිරිසක් ලියාපදිංචි කළත් පරණ අයටම වැඩ කරන්න දෙනවා. මට මේ වගේ මධ්‍යස්ථාන තුනක් බාරදීලා තියෙනවා. ගමේ අය කැමති දැන් මෙතනට ඇවිත් වැඩ කරන්න නෙවෙයි. එයාලා ආයතනයේ පාවිච්චි නොකරන සකපෝරු නිවෙස් වලට ගෙන යාමට ඉල්ලනවා. නමුත් අපිට රජයෙන් එවැන්නක් කියලා නැහැ.”
බත්තරමුල්ල ජාතික ශිල්ප සභා ප්‍රධාන කාර්‍යාලයෙන් පවසන්නේ දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි ගුරුවරු හිඟ බැවින් වසර 18ක පටන් ආයතන තුනක කටයුතු එකම නිලධාරිනියක විසින් අධීක්ෂණය වන බවයි. නමුත් ආයතනයේ න්‍යාය පත්‍රයට අනුව නම් සෑම වසරකම නවකයින් ඇතුළත් කර ගෙන පුහුණුව ලබා දීමටත්, පුහුණු කාලයේදී සෑම මසකම රුපියල් දහසක් ලබාදීමටත්, යම් හෙයකින් මුදල් ගෙවීමට නොහැකි වන මාස වලදී එම මුදලත් සමග ලබාදීමටත් කටයුතු කළ යුතු බවයි ඔවුන් පවසන්නේ. වැඩි දුර අදහස් දැක්වූ ප්‍රධාන කාර්‍යාලයේ මෙහෙයුම් අංශයෙන් පැවසුවේ අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට ආයතනික වශයෙන් කිසිදු බලයක් ලබා දී නැති නිසා ඒ පිළිබඳ සොයා බලා ඉදිරියේ දී නීතිමය පියවර ගන්නා බවයි.
එම ධීවර ගම්මාන වල අධ්‍යාපන තත්ත්වය හා ගැටලු සඳහා පිළියම් පිළිබඳ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා රජයේ ගුරු සංගමයේ උප සභාපති ලෙස කටයුතු කරන, මඩකලපු දිස්ත්‍රික්කයේ ජීවත් වන සී.රුපේෂන් ය. “කල්කුඩා අධ්‍යාපන කලාපය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන දර්ශකයේ අවසානයටම සටහන් වන අධ්‍යාපන කලාපය. මේ කලාපයේ අධ්‍යාපන මට්ටම බොහෝ කාලයක පටන් යහපත්ව තිබුණේ නෑ. ගුරුවරුන්ට සහ දරුවන්ට ඇති ගැටලු පිළිබඳ දිනපතාම අපිට තොරතුරු වාර්තා වෙනවා. බොහෝ පාසල් වැසී යන්න ආසන්නයේ තියෙන්නේ. වර්තමාන ආර්ථික ගැටලු එක්ක බොහෝ සිසුන් පාසල් හැර යන තැනට වැඩ සිද්ද වෙලා.” තවද ඔහු ඒ පිළිබඳ සඳහන් වාර්තාවක් මේ මස අවසානයට පෙර අධ්‍යාපන අමාත්‍යවරයාට ලබාදීමට කටයුතු කරන බව පැවසුවේ ය.
එමෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීමට රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව එයට මැදිහත් වන්නේ කෙසේද යන්න මහජන බැංකුවේ ප්‍රධාන කාර්‍යාලයෙන් විමසූ කළ, එළඹෙන මාර්තු 8 වන දාට යෙදෙන ලෝක කාන්තා දිනය නිමිති කොට ගෙන අදාල ප්‍රදේශයේ කාන්තා ව්‍යවසායකයින්ට මූල්‍ය කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පැවසූහ.
එක් පිරිසක් තනන මැටි භාණ්ඩ පිටරටට හෝ one galle face වැනි සුපිරි වෙළඳ සංකීර්ණ වල විකිණෙන විට, තවත් පිරිසකගේ සකපෝරු මකුළුවන්ට දැල් බඳින්නට ආධාරක වී දිරා යන්නේ කාගේ වරදින් ද?
එකම ආකාරයට නිමැවූ වට්ටි, පෙට්ටි, පැදුරු ආදී වියමන් සමහර කොටසක් අපනයනයටත් තවත් කොටසක් කුණු කොල්ලයටත් විකිණෙන්නේ කාගේ වරදින් ද?
එකම රටක, එකම රැකියාව කර ජීවත් වන දෙපිරිසකගේ ජීවිත හාත්පසින්ම වෙනස් වන්නේ කවර හේතුවක් නිසාද යන්න සොයා බැලීම වටී. සියුම්ව විමසා බැලූ කළ කල්කුඩා ජනතාවට සම්පත් සහ දක්ෂතා ඕනෑ තරම් තිබේ. නැත්තේ නිසි අධීක්ෂණයකි, මගපෙන්වීමකි, සන්නිවේදනයකි, අවධානයකි. එය ලබා දෙන්නට දැරිය නොහැකි තරම් පිරිවැයක් යෙදවීමට අවශ්‍ය වන්නේ නැත. එම ගැටලු නිරාකරණය කළහොත් ඔවුන්ගේ මුවගට ද හසරැල් කැන්දන්නට අපිට හැකි වනු ඇත.
සටහන – සෝබා කෝලියවංශ.