පිළිකා සියල්ල නසන්න එක් ඖෂධයක් සොයාගනී

Picture of අසංක

අසංක

පිළිකා සුව කළ හැකි පොදු ඖෂධයක් ලබන වසරේ සිට අත්හදා බැලීමට ඊශ‍්‍රායල විශේෂඥයන් සූදානම් වෙයි.

අතුරු ප‍්‍රතිඵල නොමැති බව කියන මෙම පිළිකා ඖෂධ ඔවුන් නම් කර ඇත්තේ ද ‘පොදු පිළිකා ඖෂධය’ ලෙසයි.

මෙම ඖෂධ ක‍්‍රමේවේදය පිළිබද පසුගිය දෙසැම්බරයේදී නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් ඇලිසන් පවසා තිබුණේ ‘ඉතා ඉක්මණින් අපට ඇතැම් පිළිකා වෙත ළගා විය හැකියි’ යනුවෙනි.

ජේම්ස් ඇලිසන් ප‍්‍රතිශක්ති චිකිත්සා කටයුතු සදහා දායක වන පුද්ගලයෙකි.

මුල් අදියරේදී මෙලනෝමා නමැති මාරක පිළිකා රෝගය සුවකිරීම සදහා මෙය යොදාගත හැකි බවට විශ්වාස කෙරේ.

මෙලනෝමා පිළිකාව සාමාන්‍යයෙන් චර්මයෙහි හටගන්නා නමුත් කලාතුරකින් එය මුඛ, අතුණු බඩවැල් හෝ අක්ෂි තුළ වුවද හටගත් අවස්ථා හමුවී තිබේ.

කෙසේවෙතත් වෙනත් පිළිකා වර්ග සදහා ද මෙය භාවිත කළ හැකි බවට විශ්වාස කෙරේ.

මේ වනවිට මෙම ඖෂධය අත්හදා බලා ඇත්තේ මීයන්ට පමණක් වන නමුත් එහි ප‍්‍රතිඵල ද මෙතෙක් අනාවරණය කර නොමැත.

කෙසේවෙතත් ඊශ‍්‍රායල විද්‍යාඥයන් පවසා ඇත්තේ මෙම ඖෂධය පිළිබද අත්හදාබැලීම් සාර්ථක වුවහොත් එය සියලුම පිළිකා සදහා එක් ඖෂධයක් භාවිත කරන මෙතෙක් බිහිවූ ලොව එකම ක‍්‍රමවේදය වනු ඇති බවය.

ඇතැම් විවේචකයන් පවසා තිබුණේ මෙම ඖෂධ ක්‍රමවේදය කලක සිට පිළිකා සදහා භාවිත කිරීමට පර්යේෂකයන් කටයුතු කරන නමුත් තවමත් සාර්ථක වී නොමැති මෙම ඖෂධයේ සුළු සාර්ථකත්වයක් මෙතරම් වර්ණනා කර දැක්වීම සුදුසු නොවන බවය.

කෙසේවෙතත් ඊශ්‍රායල විද්‍යාඥයන් පවසා තිබුණේ මෙම ඖෂධය මුලුමනින්ම සාර්ථක වූවද ‘ලෝකය කිසිදා පිළිකාවෙන් තුරන් නොවනු ඇත’ යන්න ඔවුන්ගේ අදහස බවයි.