යාලෙන් අක්කර 12,000ක් ඉවතට! – සජිත් “යාලට අත තියන්න දෙන්නේ නෑ” – ඇමති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

යාල ජාතික වනෝද්‍යානයෙන් අක්කර 12,000 ක් බැහැර කිරීමට  ආණ්ඩුව තැත් කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කළ අනාවරණය වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක ප්‍රතික්ෂේප කර තිබේ.රජයට එවැනි සැලැස්මක් නොමැති බවත් වගකිවයුතු අමාත්‍යවරයකු වශයෙන් තමා එවැනි ක්‍රියාකාරකම් යාල ජාතික වනෝද්‍යානයේ සිදු කිරීමට ඉඩ නොදෙන බවත්  හෙතෙම අවධාරණය කර ඇත.

එවැනි සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පෙර ඉදිරිපත් කළ යුතු යෝජනාවක් හෝ මෙතෙක් ඉදිරිපත් වී නැතැයි ද කියූ අමාත්‍යවරයා යාල වන රක්ෂිතයට මැදිහත් වීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ද අවධාරණය කර ඇත.

යාල වනෝද්‍යානයේ අක්කර 12000ක් බැහැර කොට විනාශ කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසන බවට වාර්තා වන බවත් වහාම එම ක්‍රියාමාර්ගය නතර කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැවසුවේ ශ්‍රී ලංකා සංචාරක රියදුරු එකමුතුව සමග විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති හමුවකදී ය.

අධි සංවේදී පරිසර පද්ධතියක් වන යාල වනෝද්‍යානය සුරැකීම සියලුදෙනා සතු වගකීමක් බවද ආණ්ඩුව යාලට අත තබන ක්‍රියාමාර්ගයකට ගියහොත් සමගි ජනබලවේගය ඊට එරෙහිව පෙරට එන බවද විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කරමින් වැඩිදුරටත් කීය.