Featured


Share now!

නූතන ආර්ථික අර්බුදයේ අලගිය මුලගිය තැන් පිළිබඳවත් එහි වර්තමාන ස්වරූපය හා අනාගතයේ එම අර්බුදයෙන් මිදිය හැකි ආකාරය පිළිබඳවත් හරවත් සම්මුඛ සාකච්ඡාවක් නොබෝදා අන්තර්ජාලයට මුදා හැර තිබිණි. ‘වයර්’ නම් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වන කරන් තපර් මෙහෙවූ මෙම සම්මුඛ සාකච්ඡාවේදී ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් පළ කළේ හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වියතාණෝය. එම සාකච්ඡාවට යොදා තිබුණු සිරස්තලය ‘රනිල් දැඩි පියවර නොගතහොත් ආර්ථිකය අගාධයට වැටිය හැකිය’ යන අරුත දෙන්නකි. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කළ පළ අදහස්වල සම්පින්ඩනයක් මෙහි දැක්වේ. 

ශ්‍රී ලංකා ආර්ථිකය නිදහසින් පසු මේ දක්වා කාලය තුළ මුහුණ දුන් දරුණුතම අර්බුදයට මේ දිනවල මුහුණ දෙමින් සිටී. මෙම අර්බුදය නිර්මාණය වන්නට අදාළ හේතු සාධක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. ඒවා නම්

i) දශක ගණනාවක් ඈතට දිවෙන ඓතිහාසික සාධක 
ii) රටේ පාලනාධිකාරියේ පාලනයෙන් තොරවූ සාධක 
iii) නොමග ගිය ප්‍රතිපත්තිමය පියවර 

ඓතිහාසික සාධක විග්‍රහ කිරීම නිදහස ලැබු අවධියෙන් පටන් ගත යුතුය. නිදහස ලබන අවධිය වන විට ශ්‍රී ලංකාව සමාජ ආර්ථික දර්ශක වලින් ආසියානු රටවල් අතරින් දෙවැනි වූයේ ජපානයට පමණකි. සිවිල් යුද්ධය හා වාර දෙකකදී සිදුවූ සමාජ සාධක හැරුණු කොට වඩාත් ප්‍රබලම කාරණය වූයේ සාර්ව ආර්ථික පීඩනය ඔස්සේ මතු වූ අයහපත් ත්ත්වයයයි.

ඒ නිසා  මතුවූ සාර්ව ආර්ථික අසමතුලනය ඔබ අපි යළි යළිත් සිදුවන ආකාරයට නොකඩවා පවත්වා ගත්තෙමු. අපට 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන්වල පිහිට පතන්නට සිදු වූයේ ඒ නිසාය. මෙම අසමතුලිත භාවය නොකඩවා පවත්වා ගැනීමට මූලිකව හේතුවූයේ රජයේ බදු ආදායම් මෙහෙයුම් පවත්වාගෙන ආ ස්වභාවය නිසාය. 

එක් අතකින් ජනප්‍රියවාදි දේශපාලනය ක්‍රියාත්මක වෙන විට ඊට සමාන්තරව දරදඬු හුරු පුරුදු වලින් සමන්විත වෙනස් නොවන සුළු සමාජ සංස්කෘතියක් බිහිවිය. මෙම ජනප්‍රියවාදී දේශපාලනයත් ඉහත කී සමාජ සංස්කෘතියත් එකිනෙකින් පෝෂණය වූයේය. එසේ පෝෂණය වීමෙන් අහිතකර ප්‍රතිඵල ජනිත වූයේය. මෙම තත්ත්වය නිදහස ලැබුදා පටන්ම පැවතිනි. ඒ හේතුවෙන් රට දිගින් දිගටම පහත වැටිණි. 

ඉහත කී තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස වසරින් වසර පවත්වා ගැනුණේ හිඟ අය වැයකි. (ආදායම් හා වියදම් අතර හිඟයක් අයවැයේ පවත්වා ගැනිණි) මෙකී අයවැය හිඟය වඩාත් පුළුල් වූයේ ඒ සමගම අඛණ්ඩව පවත්වාගත් මුල්‍ය ප්‍රතිපත්තිය නිසාය. පවත්වා ගැණුනේ හිඟ අයවැයක් නිසා රජයේ මුදල් අවශ්‍යතා උදෙසා මූල්‍ය සම්පාදනය සිදු කළේ මහ බැංකුවෙනි. එම මූල්‍ය සම්පාදනය වඩාත් උපකාර කරන ස්වරූපයෙන් සිදු වූවකි. 

එක් අතකින් රජයේ බදු ආදායම් උපයා ගැනීමේ දී ලිහිල් ප්‍රතිපත්තියක පිහිටා සිටීමත් මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් වීමක් කරන කොට ගෙන අය වැය හිඟය පියවා ගැනුණේ මුදල් අච්චු ගසා ගැනීමෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස නොකඩවා දිගින් දිගටම උද්ධමනය ඉහළ ගියේය. එම තත්ත්වය ගෙවුම් ශේෂයට ද තදින් බලපෑවේය. 

මෙම ඓතිහාසික පසුබිම යටතේ වර්ධනය වෙමින් පැවති ආර්ථිකයට මුල්‍ය සම්පාදනය කර ගැනීම උදෙසා අන්තර්ජාතික මූල්‍ය වෙළඳ පොළට යොමු වන්නට සිදුවූයේය. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ ආයතනවල අවධානයට නතු වූයේ එහිදීය.

පාස්කු ප්‍රහාරයේ සහ කොවිඩ් වසංගතයෙන් පහර කෑවේ මෙවන් තත්ත්වයක පැවති ආර්ථිකයකි. පාස්කු ප්‍රහාරයත් කොවිඩ් වසංගතයත් අයත් වන්නේ ඉහත දෙවැනිව කී රටේ පාලනාධිකාරියේ පාලනයට නතු නොවන සාධක වලටයි. මෙම පාලනයෙන් තොර සාධකවල බලපෑම වඩාත් පුළුල් වූයේ ආර්ථික ප්‍රතිපත්තිවල වැරදි නිසාය. එම නිසා වඩාත් බලවත් ලෙස ඒ සියල්ලටම ඉහළින් ආර්ථිකයක් කඩා වැටීමට බලපෑවේ ගෝඨාභය රාජපක්ෂ රජයේ බදු කපා හැරීමේ ප්‍රතිපත්තිමය වරදයි.

බදු කපා හැරීම නිසා රටට අහිමි වූ ආදායම රුපියල් බිලියන 600 කට අධිකය. එම අඩුව පුරවන්නට මුදල් අච්චු ගසන්නට මහ බැංකුවට සිදු වූයේය. එම නිසා වසරක් තුළ උද්ධමනය සියයට 50 කින් ඉහළ ගියේය. ගෙවුම් ශේෂ අර්බුදය දරුණු විය. 

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ රසායනික පොහොර තහනම කෘෂි කර්මාන්තය දරුණු තත්ත්වයකට ඇද දැමුවේ මේ අතර තුරය. මේ සියල්ල හේතු කොටගෙන ඉහත දැක්වු  ඓතිහාසික අසමතුලිතතාව තවතවත් පුළුල් වූයේය. 
2019 දෙසැම්බරයේ බදු කපා හැරීම් සිදු වූයේ මා මහ බැංකු අධිපති ධුරයෙන් නික්ම ගිය පසුවයි. එසේ කරන්නට සූදානම් වන බවත් මම දැන නොසිටියෙමි. එසේ දැන සිටියා නම් මූල්‍ය මණ්ඩලය හා එක්ව පොලී අනුපාතික ඉහළ දමන ලෙස ආයාචනා කරන්නට තිබුණි.

ඉදිරියේ අනුගමනය කරන්නට නියමිත වූ ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රතිඵල සමනය කර ගන්නටයි මා තනතුර දරන කාලයේදී භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීමේ ප්‍රාථමික වෙන්දේසිවලට සහභාගි නොවන්නට මූල්‍ය මණ්ඩලය තීරණය කළේය. ඒ මුදල් අච්චු ගැසීම සීමා කිරීමටයි.

මහ බැංකු පනත් කෙටුම්පත ඒ වනවිට පාර්ලිමේන්තුවට යෝජනා කර තිබුණත් පාර්ලිමේන්තු කාලය ඒ වන විට අවසන් වුණු නිසා එහි කටයුතු ඇනහිටියේය. මහබැංකුවට අධික ලෙස මුදල් අච්චු ගැසීම සඳහා දී තිබු ඉඩකඩ නවතා දමන්නට එම පනතින් යෝජනා කර තිබුණි. 

2015 – 2019 දක්වා පැවති රනිල් වික්‍රමසිංහ අගමැති ධුර දැරු රජය කාලයේ ආර්ථික වර්ධන වේගය සියයට 5 සිට සියයට 2 දක්වා අඩු වුවත් එසේ වූයේ සුවිශේෂ තත්ත්වයක් මතයි. ඒ වන විට ආර්ථිකය වෙනත් අංශවලින් ශක්තිමත් කරමින් පැවතුණි. එකල උද්ධමනය පැවතියේ සියයට 3.4 මට්ටමකයි.

මහ බැංකුවේ ඉලක්කය වූයේ සියයට 4-6 අතර අගයක උද්ධමනය පවත්වා ගැනීමයි. විදේශ සංචිත ඩොලර් බිලියන 7.6 ක් අප සතුවුණි. එය සාමාන්‍යයෙන් පවත්වා ගන්නා පරිදි ඊළඟ මාස තුනක ආනයන වියදම් පියවාගන්නට සෑහෙන තරම් විදේශ සංචිතයකි. 

මේ අතර ඒ කාලය තුළ ඉතාමත් ශක්තිමත් ව්‍යුහාත්මක වෙනස්කම් (ආර්ථිකයේ ඉදිරි ස්ථාවර භාවයට බලපාන) සිදුකරමින් පැවතුණි.

ආර්ථිකයේ වර්ධන වේගය අඩු වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථායිකරණ වැඩ සටහනකට අනුකූලව පාරිභෝගික ඉල්ලීම සීමා කරමින් පැවති නිසාය. ඒ හා සමාන්තරව දැඩි ලෙස ශක්තිමත් වූ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකරමින් පැවතුනි. මෙම ව්‍යුහාත්මක වෙනස්කම් සාර්ථක ලෙස කර අවසාන කර ගත හැකි නොවුයේ එවකට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවති සම්බන්ධීකරණය බිඳ වැටී තිබුණු නිසාය.

ව්‍යුහාත්මක වෙනස්කම් සාර්ථකව සිදු වන්නේ සභාග රජයක සහ සම්බන්ධතාව උපරිම අයුරින් පවතින විටය. එහෙත් රජයේ සහ සම්බන්ධතාව බිඳ වැටුණු නිසා එම කටයුත්ත නතර වුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථායිකරණ වැඩසටහන හේතුවෙන් පාරිභෝගික ඉල්ලීම සීමා කිරීම නිසා ආර්ථික වර්ධනය අඩු වුවත් ව්‍යුහාත්මක වෙනස්කම් ඔස්සේ විදේශ සංචිත ස්ථාවර වූ​වේය. උද්ධමනය ස්ථාවර මට්ටමක පැවතියේය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ජනතාව ආයෝජන කිරීම නවතා දැමූහ. මගේ ධුර කාලයේ කටයුතු කෙසේ සැසදීමකට ලක් කරන්නේ ද යන්න මගෙන් විමසු විට මා දෙන පිළිතුර නම් සැත්කම සාර්ථක වුවත් රෝගියා මිය ගියා යන්නයි. 

2009 – 2014 මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ආර්ථිකයට සිදුවු වරද ණය ගැනීම නොවේ. එසේ ගත් විදේශ ණය සාර්ථකව ආයෝජනය කරන්නට නොහැකි වීමය. එම ආයෝජන හේතුවෙන් ඵලදායි ඉපයීමක් කර ගත හැකි වූයේ නැත. ලබා ගත් ණය ආපසු ගෙවන්නට හැකි ප්‍රතිලාභයක් එකි ආයෝජන ඔස්සේ සිදු වූයේ නැත. එයින් ප්‍රමාණවත් විදේශ සංචිත ගොඩ නැගුණේ නැත. එම ආයෝජනවල ගුණාත්මක භාවය දැඩි ලෙස ප්‍රශ්න කිරීමකට භාජන කළ හැකිය. ​ඓතිහාසික වරද සිදු වූයේ එතැනයි. 

අවුරුදු හැත්තෑ පහක් තිස්සේ දේශපාලකයන්ගේ ජනප්‍රියවාදි දේශපාලනයත් ජනතාවගේ දරදඬු හුරුපුරුදුත් සංස්කෘතියේ සුසංයෝගයෙනුත් සිදු වූ වරද 1959 – 60 කාලයේ මෙරටට පැමිණි කේම්බිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් රොබින්සන්ගේ කියමනකින් කෙටියෙන් පෙන්විය හැකිය.

ඇය  වාමවාදි මතධාරිනියක් මිස නව ලිබරල් වාදිනියක නොවේ. ඇය කියා සිටියේ ලාංකිකයන් වන අප ගස හදාවඩා ගැනීමට පෙර ඵලය රසවිඳින්නට හුරු වූ ජනතාවක් ලෙසයි. ඇත්තෙන්ම අප කළේ එයයි. 1977 ආර්ථිකය නිදහස්කරණයට ලක් කළ විට අපට නොසෑහෙන ලෙස විදේශ ආධාර ලැබුණි. එහෙත් අපි ඒවා නිසි ලෙස කළමනාකරණය නොකළෙමු. පමණට වඩා පරිභෝජනයට හුරු වු ජීවිත අපි ගත  කළෙමු. 

මෙම අර්බුදයෙන් මිදීමට රනිල් වික්‍රමසිංහට කෙසේ හැකිවන්නේද යන්න ගැනත් මෙහිදී අවධානය යොමුකළ හැකිය.

ඒ සඳහා දක්ෂ මහ බැංකු අධිපතිවරයකු හා භාණ්ඩාගාර ලේකම්වරයකු ඇතුළු දක්ෂ කාර්ය පිරිසක් රනිල් වික්‍රමසිංහ යටතේ කටයුතු කිරීම සතුටට කරුණකි. මෙම අර්බුදයට පිළියම් යොදා ගැනීම උදෙසා පළමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහනකට යොමු විය යුතුමය.

මේ වන විට අප සතුව දේශීය ආදායම් පහත වැටීම හේතුවෙන් රුපියල් ද නැත. විදේශ සංචිතද  නැත.  එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබුණු විට එහි ප්‍රතිඵලයක් ලෙස අනෙක් මූල්‍ය සැපයුම් ද වැඩි වීම අනිවාර්යයෙන් සිදු වන්නකි. එවිට අනෙකුත් ප්‍රදාන හා පෞද්ගලික ආයෝජන සිදුවනු ඇත. 

එහෙත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනකට එළැඹෙන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහය අපට ලැබෙන්නේ නැත. ඒ සඳහා මාස 5 – 6 ක් පමණ අනිවාර්යයෙන්ම ගතවනු ඇත. ඒ අතර තුර කාලයේදී මූලික අත්‍යවශ්‍ය ද්‍රව්‍යද ආනයන කර ගැනීමට රනිල් වික්‍රමසිංහට සිදුවනු ඇත. ඒ අනුව ඉන්ධන, ආහාර, ඖෂධ යන අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා ගත යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබෙන තුරු මෙම සැපයුම් පවත්වාගත යුතුය. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සම්පාදනය රනිල් විසින් කරගත යුතුය. 

ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට නම් අනිවාර්යයෙන්ම ව්‍යුහාත්මක වෙනස්කම් සැලසුම්ගතව කළ යුතුය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පුරෝකථන අනුව ලබන වසර වනවිට ආර්ථිකය සියයට 7.1 කින් සංකෝචනය විමට නියමිතය.

අප මේ වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යොමු වනුයේ ආර්ථිකය සංකෝචනය වන අවධියකයි. එම නිසා ඊට යොදන පිළියම් ද දරා ගැනීමට අසීරු වන ඒවාය.  සිදුකළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් අතර රාජ්‍ය ව්‍යවසාය ඇසුරින් ගනු ලබන තීරණ ප්‍රධාන තැනක් ගනී. ඒවායේ නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවල මිල පිරිවැය පිළිබිඹු කරන මිලක් බවට පත් කිරීම අනිවාර්යයෙන් කළ යුතුය. වත්කම් විකිණිමට සිදුවීම ද ඊටම සම්බන්ධ වූවකි. ඒ ඔස්සේ විදේශ සංචිත උපයාගත හැකිය.

දෙවැනි කාරණය මහබැංකුව ස්වාධීනකරණයට භාජන කිරීමයි. ඒ සඳහා දැනට පාර්ලිමේන්තුවට ඉදිපත් කොට ඇති කෙටුම්පත සම්මත කරගත යුතුය. අනෙක් කාරණය රාජ්‍ය මුල්‍ය ආදායම් (බදු) ශක්තිමත් කරගැනීමයි.

තුන්වැනි ව්‍යුහාත්මක වෙනස් කම කළ යුත්තේ ව්‍යාපාරික පරිසරය ඇසුරිනි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ව්‍යාපාර පහසුකරණය ප්‍රධාන කුලුනු 10 ක් මත රඳා පවතින බව නිර්ණය කරන අතර ඒ සඳහා පැහැදිලි ඉදිරි දැක්මක් සහිත සැළසුම් සකස් කරගත යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙන කොන්දේසි වඩාත් ඇසීරු ඒවා විය හැකිය. දැනට අප පෙළෙන ආර්ථික ව්‍යාධිය දරුණු නිසා ඊට යොදන පිළියම් ද මෘදු ඒවා නොවන අසීරුවෙන් විඳ දරාගන්නට සිදුවන පිළියම්ය.

මුලින්ම ඔවුන් අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමට නියම කරනු නියතය. මේ වසරේ අපගේ අයවැයේ ප්‍රාථමික ගිණුමේ සියයට 4.5 – 5 ක පමණ හිඟයක් පවතින තත්ත්වයක් පෙනී යයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිය විය හැක්කේ වැඩ සටහන නිමා වනවිට හෙවත් වසර 3 කදී එම අයවැය පරතරය සියයට 2 ක අතිරික්තයක් බවට පත්කර ගත යුතු බවය. ඒ අනුව මුළුමනින් ගත් විට සියයට 6 ක වෙනසක් අප අයවැය තුළ සිදුකර ගත යුතුය. ඒ සඳහා අනිවාර්යයෙන්ම ආදායම් වැඩි කර ගත යුතුය. රාජ්‍ය ආදායම යනු බදු අය කිරීම්ය.

අපට නියම කළ හැකි කොන්දේසි අතරට මහ බැංකුව ස්වාධීන කිරීම ද එක්වනු ඇත. මීට අමතරව පිරිවැය පිළිබිඹු කරන මිල නියම කිරීම් විශේෂයෙන් ඛනිජ තෙල් හා  විදුලි සැපයුම ආශ්‍රයෙන් නියම කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. විදුලිය උදෙසාත් ඛනිජ තෙල් උදෙසාත් මේ දක්වා සහනාධාර දුන්නේය. එම සහනාධාරය හේතුවෙන් ලංවිම සහ ඛනිජතෙල් සංස්ථාවේ පැවැත්ම තහවුරු නොවුයේය.

නිෂ්පාදන පිරිවැය පිළිබිඹු වන ආකාරයෙන් මිල නියම කිරීමේදී එකී සහනාධාර ඉවත් කෙරෙණු ඇත. මේ වනවිටත් රජය ඛනිජ තෙල් ආශ්‍රයෙන් පිරිවැය පිළිබිඹු කරන මිල නියම කිරීමට යොමුවී  තිබෙන අතර එම කාර්ය විදුලිය සම්බන්ධයෙන් ද  සිදු වනු ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලැබෙන තුරු අත්‍යාවශ්‍ය සැපයුම් වන ඉන්ධන, ආහාර හා ඖෂධ සපයා ගැනීමේදී විදේශ රටවල සහාය පැතිය යුතුය. ඉන්දියාව මේ වනවිටත් අපට ඩොලර් බිලියන 3.8 ක පමණ ණය පහසුකම් සපයා ඇත. හුවමාරු ණය පහසුකම් (SWAP) සහ ඉන්දියානු මහ බැංකුව හා එක්සිම් බැංකුව හරහා මේ වන විටත් එකී ණය ආධාර සපයා තිබේ.

තවත් ඉදිරියට එවැනි ණය ආධාර සැපයීමේ දී ඉන්දියාව වඩාත් සුක්ෂම ලෙස ඒ උදෙසා කරුණු සලකා බැලීමට ඉඩතිබේ. මේ වන විට ඉන්දියාව සතුව පවතින විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 590ක් පමණ වේ. ඉදිරියේ දී තවත් ණය ආධාර සැපයිමට නම් ඉන්දියාව ඒ සඳහා ආයෝජන අවස්ථා වැනි ප්‍රතිලාභ බලාපොරොත්තු වනු නියතය.

ජපානය අපට බොහෝ අවස්ථාවල සංවර්ධනය උදෙසා ණය ආධාර සැපයූ රටකි. ජපානය කෙරේ බලාපොරොත්තු තබා ගත හැකිය. එහෙත් මේ වන විට අවස්ථා දෙකක දී අප ජපානයේ බලාපොරොත්තුද කඩ කොට තිබේ. යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය වාපෘතිය අවලංගු කිරීම ඉන් එකකි. නැගෙනහිර ජැටිය ආශ්‍රීතව (අදානි සමූහ ව්‍යාපාරය හා සම්බන්ධව) කිරීමට නියමිතව තිබූ ඉදිකිරීම් යෝජනා අවලංගු කිරීම අනෙකයි.

ඒ කෙසේ වෙතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා සාර්ථක වූ විගස ජපානයෙන් ණය ආධාර ලැබෙන බවත් විශ්වාසය තැබිය හැකිය. ඒ සඳහා ජපානය ආයෝජන අවස්ථා බලාපොරොත්තු වන්නට ඉඩ ඇත.

මෙම අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක වෙනස් කම් හා රාජ්‍ය හිමි වත්කම් විකිණීමට මහබැංකු ස්වාධීන කිරීමට රනිල් වික්‍රමසිංහට හැකිවේද? පොදුජන පෙරමුණ මේ සඳහා රනිල් වික්‍රමසිංහට ඉඩ දේද? මෙම කටයුතු ඉටු කිරීමකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත නොහැක. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය නොලබා  මෙම අර්බුදයෙන් ගොඩ ඒමේ අවස්ථාවක්ද නැත.

රනිල් වික්‍රමසිංහ ආර්ථික සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති අයෙකි. මෙකී ක්‍රියාමාර්ග ගතයුතු බවද ඔහු හොඳින් දනී. මේ අනුව කටයුතු නොකළහොත් නැවත සිදු වන්නේ ඉහත කී දරදඬු පුරුදු වලින් යුක්ත මහජන සංස්කෘතියට ජනප්‍රියවාදී දේශපාලනය නතු වීමකි. රනිල් වික්‍රමසිංහ මෙය දනී. මෙම අවදානම දැරිය යුතු බව ඔහු හොඳින් දන්නා අතර ඔහු එසේ නොකළ හොත් සිදු වන්නේ විනාශය කරා යෑමකි. මෙම තත්ත්වය සියලු දේශපාලනඥයන් වටහා ගත යුතුය.

අප පහළ ආදායම් ලබන මට්ටමින් මධ්‍යම ආදායම් ලබන මට්ටමට පැමිණි පසුත් සුපුරුදු පරිදි විදේශ මුල්‍ය වෙළෙඳ පොළෙන් ණය ලබා පැවැත්ම සකසා ගත්තා මිස අපි පුරුද්ද අත්නොහලෙමු. දැන් වෙනස් විය යුතු කාලය එළඹ තිබේ.

මෙම අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මෙම වසර අවසාන වනවිට  750,000 ක් ජනතාවට කුස ගින්නේ සිටිමට සිදුවනු ඇත. මේ ජනගහනයෙන් අඩක් දෙනා දරිද්‍රතා රේඛාවෙන් පහළට ඇද වැටෙනු ඇත. රැකියා අහිමිවන සංඛ්‍යාව මෙතෙක් දැනගන්නට නැත. මේ නිසා රජය මුදල් ගලායෑමේ ශක්තිමත් වැඩ පිළිවෙළකින් මෙම දරිද්‍රතාව සමහන් කොට දැමීමට දුගී ජනයා අතට මුදල් යැවීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කළ යුතුය.

ඉදිරියේදී ජනතාව කළ යුතු කැපකිරීම් පිළිබඳව නිසි සන්නිවේදනයක් පවත්වා ගැනීම කළ යුතුය. ඒ සමගම මෙම කැපකිරීම බෙදා හදා ගත යුතුය. මෙම අසීරුතා ජනතාවට විඳ දරා ගත හැකි වන පරිදි එකී කැප කිරීම් බෙදී යන ආකාරය සකසා ගත යුතුය.

ශ්‍රී ලංකාව 2019 සිටි තත්ත්වයට නැවත පැමිණෙන්නට කොතෙක් කල් ගතවේද? මේ වසරේ වර්ධන වේගය සියයට සෘණ 7.1 කි. ඊළඟ වසරේ අගවන විට වර්ධන වේය සියයට -8 -10 (ඍණ) අගයකට වැටෙන සෙයක් පෙනී යයි. එම නිසා නැවත 2019 මට්ටමට ජාතික ආදායම පත් වන්නට අවම වශයෙන් අවුරුදු පහක් වත් ගතවනු ඇත.

ඉහතකී දැඩි පියවර රනිල් වික්‍රමසිංහ විසින් අනිවාර්යයෙන්ම ගතයුතුව ඇත. පොදු ජන පෙරමුණ එහිදී නිසි වටහා ගැනීමකින් යුතුව ඊට ප්‍රතිචාර දැක්විය යුතුය. මෙකී දැඩි පියවර රනිල් වික්‍රමසිංහ නොගතහොත් අනිවාර්යයෙන්ම ආර්ථිකය අගාධයකට ඇද වැටෙනු නියතය