නවතම පුවත්

ශ්‍රී ලංකාවේ කාබනික වගාව – මාධ්‍ය මිත්‍යාව හා අසත්‍ය ප්‍රචාර

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(Regeneration International.org ජාත්‍යන්තර වෙබ් අඩෙවියේ පළවූ ලිපියක් ඇසුරෙනි .)

ශ්‍රී ලංකාව තුල ආර්ථික අර්බුද මතුවීමට බලපෑ ප්‍රධානතම හේතුව වන්නේ , කාබනික වගාව කෙරෙහි මෙරට යොමුකිරීමට රජය ගත් උත්සාහය යැයි පැවසෙන ,විවේචනාත්මක ලිපි රැසක්ම පසුගිය කාලය පුරා මෙරට මාධ්‍යයන්හි පළවිය .

විශේෂයෙන්ම මෙරට කෘෂිකර්මාන්තය බලහත්කාරයෙන් කාබනිකකරණයට ලක්කිරීම සඳහා රජය උත්සාහ ගත් බවටත් , ඒ හේතුවෙන් මෙරට ගොවීන්ට බරපතල ගැටළු රැසකට මුහුණ දීමට සිදුවූ බවටත් මෙම ලිපිවල සඳහන් වී තිබිණ .

ඇත්තෙන්ම මෙම ලිපිවලින් පෙන්වාදුන් හා ඒවායේ සඳහන් වූ කරුණු සම්පූර්ණයෙන් නිරවද්‍යද ? මෙම ලිපි මාලාවන් සම්පාදනය කලේ කව්ද ? මෙම ලිපි මෙතරම් බහුල ලෙස ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පවා පළවුයේ කෙසේද ? අපි විමසා බලමු.

මෙම ලිපිවල සඳහන් කරුණුවල ඇති දෝෂ සහිත කරුණු , අසත්‍ය තොරතුරු හා භාෂා භාවිතය ගැන සලකා බලනවිට නම් එම ලිපි බොහොමයක් සම්පාදනය කර ඇත්තේ පලිබෝධ නාශක වෙළඳාමේ හා නිෂ්පාදනයේ නිරත දැවැන්ත බහුජාතික සමාගම්වල උවමනා එපාකම් ඉටුකරන වෙළඳ ප්‍රචාරණ ආයතන හා මහජන සබඳතා ආයතනවල මෙහෙයවීමෙන් බව මනාව පැහැදිලිවේ.

කිසිදු වගවිභාගයකින් තොරව ,ඕනෑම මිත්‍යාවක් , තම පුවත් පත් වල පලකරන මුදලට යටවූ ” කුලී “මාධ්‍යකරුවන් හේතුවෙන් මෙම ලිපි , ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහාද ප්‍රචාරය වූ බවත් පැහැදිලිය .

රසායනික පොහොර තහනම් කිරීමට රජය ගත් තීරණය මෙම ලිපි හරහා දැඩි ලෙස විවේචනය කර තිබු අතර , එය මුල් කරගනිමින් මතුවූ අර්බුද ,පසුව ‘අරගලය’ දක්වාම දිග්ගැස්සුන බවද මේවායේ සඳහන්ව තිබිණ .

ඇත්තෙන්ම රට තුල මෙවැනි රාජ්‍ය විරෝධී “අරගලයක් ” මතුවුයේ , කාබනික වගාවට යොමුවීමට රජය ගත තීරණයක් නිසාද ? නැත . එම චෝදනා හා විවේචන බොහොමයක් සත්‍යයෙන් තොරය . රටේ ආර්ථික අර්බුදයන් මතුවූයේ , කාබනික වගාවට රට යොමුවූ නිසාවෙන් බව පැවසීම අතිශය සාවද්‍ය මතයකි , අදහසකි. එසේම රට කිසිවිටක සම්පූර්ණයෙන් , කාබනික වගාව වෙත යොමුනොවුණු බවද මෙහිදී සිහිපත් කල යුතුමය ,කාබනික කෘෂි වගාව යන්තනෙහි සැබෑ විද්‍යාත්මක අර්ථකථනයට අනුව නම්, ලංකාව පසුගිය කාලය තුල පවා කාබනික කෘෂි වගාවට යොමුවූ රටක් ලෙස සැලකිය නොහැක .

ආර්ථිකයේ කඩාවැටීම

ශ්‍රී ලංකාව බරපතල අකාරයේ ආර්ථික අර්බුදයකට ලක්වීමට බලපෑ ප්‍රධානතම හේතුව වන්නේ ,මෙරට ලබාගෙන ඇති මහාපරිමාණ මූල්‍ය ණය කන්දරාවයි . වසර 30 කට අධික කාලයක් රට තුල පැවති යුධමය වාතාවරණය හේතුවෙන් කෙමෙන් ඇදවැටෙමින් පැවති මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට මූල්‍ය ණය ලබාගැනීම අත්‍යාවශ්‍ය විය . 2019 වසරේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ලවූ අතර , එය රටේ ආර්ථික කඩාවැටීම තවදුරටත් වේගවත් කරලීය .

රටට ඇදී එන විදේශ විනිම ප්‍රමාණය අඩුවීමත් සමග රුපියලද කඩා වැටෙන්නට පටන්ගත් අතර කොරෝනා වසංගතය රටට පැමිණියේ මෙවන් වාතාවරණයක් තුලය . ඒ හේතුවෙන් සිදුවූයේ , ‘ගහෙන් වැටුණු ආර්ථිකයට ගොනා ඇන්නාක්’ වැනි මහා ඛේදවාචකයකි. අවසානයේ , ඉන්ධන වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට හෝ ප්‍රමාණවත් ඩොලර් සංචිතයක් රජය සතු නොවීය .

2019 දී සිදුකල බදු අඩු කිරීම්ද රාජ්‍ය ආදායම අඩු කළ අතර ඒ හරහා රටේ ජාතික ණය ප්‍රමාණය තවදුරටත් ගැඹුරු විය. මීට සමගාමීව ශ්‍රී ලංකාවේ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය සහ ආහාර අනාරක්ෂිත භාවයද වැඩිවිය .

රටේ උද්ධමනයද සැලකිය යුතු ලෙස ඉහළ යාමට මෙම සියලු සාධක හේතු වූ අතර ඒ අනුව 2021 ආරම්භය වන විටත් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික හා සමාජීය ගැටලුවලට මුහුණ දී සිටියේය.

රසායනික පොහොර තහනම

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් 2021 අප්‍රේල් 27 වන දින , මෙරටට රසායනික පොහොර ආනයනය තහනම් කරන ලද්දේ මෙවන් පසුබිමක් යටතේය , ඒ වනවිටත් පොහොර ආනයනය, වෙළඳ හිඟයට ඩොලර් මිලියන 400 කට වැඩි දායකත්වයක් ලබා දෙමින් සිටියේය . ආර්ථික ප්‍රකෘතියක් ඇති කිරීම සඳහා යෝජනා කෙරෙන ක්‍රියාමාර්ග මාලාවක ආරම්භය මෙය විය.

ඊළඟ මාසයේ 2021 මැයි 10 වැනි දින, දේශගුණික විපර්යාස සඳහා තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආර්ථීක ව්‍යාකූලත්වයට හේතුව කාබනික කෘෂිකර්මය නොවන බව මෙම සිදුවීම් මාලාව හරහා පැහැදිලිවේ .එසේම රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම ගෙන ආවේ, ශ්‍රී ලංකාව කාබනික රටක් බවට පත් කිරීමට නොවන බවද මේ අනුව පැහැදිලිවේ. ; එය ශ්‍රී ලංකාවේ ජාතික ණය අඩු කිරීමට ගත් පියවරකි .

ශ්‍රී ලංකාව කිසි විටෙකත් ‘ජාතික කාබනික සංක්‍රාන්ති වැඩසටහනක්’ ක්‍රියාත්මක නොකළ අතර, රටේ ආර්ථික බිඳවැටීම සම්බන්ධයෙන් කාබනික කෘෂිකර්මාන්තයට දොස් පැවරීම නිවැරදි නොවන්නේත් අසාධාරණ වන්නේත් ඒ අනුවය .

රට තුල ඇතිවූ ‘අරගලයටද’ මූලිකම හේතු සාධකය වුයේ සහල් අස්වැන්න අඩුවීම නොව ආර්ථිකයේ ඇති අවුල් සහගත බවයි . අරගල සමයේ මතුවූ සහල් හිඟයට නම් ප්‍රධාන ලෙසම බලපෑවේ සහල් මෝල් හිමියන් සුපුරුදු ලෙස ප්‍රාථමික අස්වනු නෙලීමෙන් පසු සිදුකල කෘතීම මිල වැඩිකිරීම්ය . මෙය මෙම සහල් මෝල් හිමියන් සෑම වසරකම පාහේ සිදුකරන “වංචාවකි” . අරගලයට හේතු සැපයු අනෙකුත් සාධක වූයේ ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ අධික උද්ධමනයයි.

රසායනික පොහොර තහනමත් සමග රට තුල හදිසියේ යම් පොහොර හිඟයක් මතුවූ බව සැබෑවකි . එය සහල් නිෂ්පාදනය අඩුවීමට යම්තාක් දුරකට හේතුකාරක වූ බවද සැබෑවකි . කෙසේ වෙතත්, මෙම පොහොර හිඟය මතුවුයේද රට ‘කාබනික’ වූ නිසා නම් නොව පැවති ආර්ථික අර්බුද හා විදස් විනිමය හිඟය හෙතුවෙන් බව දැන් පැහැදිලිය .

කාබනික කෘෂිකර්මාන්තය

කුඩා ගොවිපලක් පවා කාබනික බවට පරිවර්තනය කිරීමට වසර තුනක් පමණ ගත වන අතර රටක් හෝ කලාපයක් එලෙස කාබනික බවට පරිවර්තනය කිරීමට දශක ගණනාවක් ගත වේ. භූතානය සහ සිකීම් ප්‍රදේශය මීට ඇති හොඳම නිදසුන්ය . ඒ අනුව රසායනික පොහොර නැවැත්වූ පමණින් ගොවිපලක් හෝ රටක් කාබනික වන්නේ නැත.

කාබනික කෘෂිකර්මය පිලිබඳ ජාතික හා ජාත්‍යන්තර විශේෂඥයින් දිගින් දිගටම ශ්‍රී ලංකා රජයට උපදෙස් දුන්නේ මෙවැනි පොහොර තහනමක් ක්‍රියාත්මක කිරීමෙන් අස්වැන්න හදිසියේ පහත වැටීමකට ලක්විය හැකි බවයි .

කාබනික ද්‍රව්‍යවලට මාරුවීම සැලසුම්සහගතව , හා නිසි කළමනාකරණයකින් යුක්තව ක්‍රියාවට නැංවිය යුතු බවද එම විශේෂඥයින් රජයට අවවාද කළහ . එසේම , පොහොර සහ කෘෂි රසායන තහනමට එරෙහිව ඔවුන් රජයට දිගින් දිගටම උපදෙස් ලබාදුන්හ . ඒ අනුව කාබනික කෘෂිකර්මය වෙත සංක්‍රමණයවීමට අදාලව දශක කිහිපයක් ගතවන පූර්ණ සැලසුම් යෝජනා කිහිපයක් ඉදිර්පත්වුනද ඒවා කිසිවිටක ක්‍රියාවට නැංවුණේ නැත . ඒ අනුව ශ්‍රී ලංකාව කිසිවිටක , කාබනික කෘෂිකර්මාන්තය වෙත යොමුවීමට අදාළ සම්පූර්ණ සැලැස්මක් ක්‍රියාවට නැංවුයේ නැත .

. . කාබනික කෘෂිකර්මයට සුදුසු ලෙස පසේ සාරවත් බව වැඩි කිරීමට සහ වල් පැලෑටි, පළිබෝධ ආදිය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට විවිධ කළමනාකරණ ක්‍රමවේද හා සැලසුම් ඇත. මේවා සංවර්ධනය වීමට හා ඵලදායී ලෙඅ ක්‍රියාත්මක වීමට වසර ගණනාවක් ගතවේ , එපමණක් නොව :කාබනික සහතිකය” ලබා ගැනීමට පවා වසර තුනක් අවශ්‍ය වේ.

කාබනික වගාවේ ප්‍රතිලාභ

කාබනික කෘෂිකර්මාන්තය, හරහා මේ වනවිට දියුණු වෙමින් පවතින රටවල් ඉතා ඉහළ ආදායමක් සහ ඉහළ අස්වැන්නක් ලබා ගනිමින් සිටී . විද්‍යාව පදනම් කරගත් ප්‍රතිජනන සහ කාබනික ක්‍රම ඔවුන් තම සාම්ප්‍රදායික ක්‍රම හා මුසුකරගන්නා බැවින් මෙසේ මෙම සාර්ථකත්වය ලඟා කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත .

පහත දක්වා ඇත්තේ මෙසේ දියුණු වෙමින් පවතින රටවල , භාවිතා වන එවැනි ක්‍රම කිහිපයකි.

  • පාංශු කාබනික ද්‍රව්‍ය (SOM) ප්‍රතිචක්‍රීකරණය කිරීම
  • නිවැරදි ඛනිජ සමතුලිතතාවය තුළින් වඩා හොඳ පාංශු පෝෂණය
    පළිබෝධ සහ රෝග කළමනාකරණය වැඩිදියුණු කිරීම
    ජල පරිහරණ කාර්යක්ෂමතාව – පස කාබනික ද්රව්ය වැඩි කිරීම
    වඩා හොඳ වල් පාලන ක්රම
    පාරිසරික ක්‍රියාකාරිත්වය තීව්‍ර කිරීම:
  • පද්ධතිවල විවිධත්වය වැඩි කිරීම

වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතික සම්මේලනය (UNCTAD) සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) විසින් හෙක්ටයාර මිලියන 2ක ගොවීන් මිලියන 1.9 ක් ආවරණය වන පරිදි අප්‍රිකාව පුරා ව්‍යාපෘති 114 ක් සමාලෝචනය කරන ලදී . එම සමාලෝචනයන්ගෙන් අනතුරුව නිකුත් කරන ලද වාර්තාවකින් හෙළි වූයේ කාබනික කෘෂිකර්මාන්තය , සමස්තයක් ලෙස අප්‍රිකාවේ භෝග අස්වැන්න වැඩි කර ඇති බවයි . ‘එහිදී සියලු අප්‍රිකානු ව්‍යාපෘති සඳහා සියයට 116 වර්ධනයක්ද , නැගෙනහිර අප්‍රිකාවේ ව්‍යාපෘති සඳහා පමණක් සියයට 128 ක වර්ධනයක්ද පෙන්නුම්කර ඇති බවද වාර්තාවේ දැක්වේ .

කෘෂි විද්‍යාව පිළිබඳ විද්‍යාව මත පදනම් වූ පුනර්ජනනීය හා කාබනික කෘෂිවගා ක්‍රම හරහා සහල් නිෂ්පාදනයද ඉඅහල නැංවිය හැකි අතරම ඉන් ලැබෙන ලාභයද ඉහල නැංවිය හැකි බව මේ වනවිට අනාවරනවී ඇත .

MASIPAG කෘෂි සංවිධානය විසින් පිලිපීනයේ සිදු කරන ලද පර්යේෂණ ව්‍යාපෘතියකින් තහවුරුවී ඇත්තේ කාබනික සහල්වල අස්වැන්න කාර්මික පද්ධතිවලින් ලැබෙන අස්වැන්නට සමාන බවය . නමුත් වියදම් හා ආදායම් සංසන්දනය කර බලන විට කාබනික ක්‍රමයේ වගාවකින් වැඩි ලාභයක් ලබාගත හැකි බවද මෙහිදී තහවුරුවී ඇත .

පර්යේෂණ ව්‍යාපෘතිය සමාන ප්‍රමාණයේ කාර්මික සහ කාබනික ගොවිපලවල අතර සංසන්දනයක් කර ඇති අතර එහිදී කාර්මික ගොවිපල වෙතින් ලැබී ඇති අදායම පෙසෝ 15,643ක් වන අතර ඊට සාපේක්ෂව කාබනික ගොවිපල වෙතින පෙසෝ 23,599 ක ආදායමක් ලැබී ඇත

, මෙම අධ්‍යයනයෙන් ලැබුණු වැදගත්ම තොරතුරු වූයේ, කාබනික සහල් ගොවීන් සාමාන්‍යයෙන් වසර අවසානයේ පෙසෝ 5,967 ක අතිරික්ත ආදායමක් ලබා ගෙන ඇති අතර කාර්මික සහල් ගොවීන්ගේ පාඩුව පෙසෝ 4,546 ක් වූ බවය .

පුනර්ජනනීය සහ කාබනික පද්ධති භාවිතා කරමින් සහල් තීව්‍ර කිරීමේ ක්‍රමයේ (SRI) විද්‍යාව සහ භාවිතයන්හි වැඩි දියුණු කිරීම් සාමාන්‍යයට වඩා ආකර්ෂණීය අස්වැන්නක් ලබා ගනී.

මේ සම්භන්ධව අදහස් දක්වමින් ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වන Cornell විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Uphoff මහතා සඳහන් කර සිටියේ කාබනික වගා ක්‍රම හරහා ඍජුවම , “දුප්පත් ගොවීන්ට” සහන සැලසෙන බවයි .

නව ප්‍රභේද හෝ කෘෂි රසායන යෙදවුම් මිලදී ගත නොහැකි , දිළිඳු ගොවීන්ට ,මෙම වගා ක්‍රම භාවිතා කර අස්වැන්න , තුන් ගුණයකින් හෝ හතර ගුණයකින් වැඩි කර ගැනීමට හැකි වන බවද මෙහිදී ඔහු පැහැදිලිවම පෙන්වාදී ඇත. “

ශ්‍රී ලංකාව වැනි රටවල්ද කාබනික කෘෂි වගා ක්‍රම හා වැඩසටහන් වෙත සංක්‍රමණය වීම පරිවර්තනය වීම අතිශය වැදගත් වන්නේ ඒ අනුවය .

වර්තමානයේ රට තුල කෘත්‍රිම පොහොර සඳහා පවතින ඉතා ඉහළ මිල සහ ශ්‍රී ලංකා මුදලේ දුර්වල විනිමය වටිනාකම අනුව අනයනික රසායනික පොහොර භාවිතය , මෙරට ගොවීන්ට දරාගත නොහැකි දෙයකි . ඒ අනුව එම ගොවීන්ට සැලසුම් සහගත ලෙස කෘෂි විද්‍යාව මත පදනම් වූ නිවැරදි ප්‍රායෝගික කාබනික සහ ප්‍රතිජනන ක්‍රම හඳුන්වාදිය යුතුය . එය රසායනික පොහොරවලට සාර්ථක විකල්පයක් වනු නොඅනුමානය . එපමණක් නොව ඒ හරහා , පෙරටත් වඩා වැඩි අස්වැන්නක් හා ලාභයක්ද ලබාගැනීමටද ගොවීන්ට අවස්තාව ලැබෙනු ඇත .එය වඩාත් පරිසර හිතකාමී හා ලොවක් ගොඩනැගීමටද අමිල දායකත්වයක් සපයනු ඇත .

(Regeneration International.org ජාත්‍යන්තර වෙබ් අඩෙවියේ පළවූ ලිපියක් ඇසුරෙනි .)

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි